හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියන් දෙදෙනා සහ බෑණා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුදල් විශුද්ධිකරණ චෝදනා මත සිදුකෙරෙන විමර්ශනයකට අදාලව අද (19) දිනයේදී හිටපු අමාත්‍යවරයාගේ දියණියන් දෙදෙනෙකු වන චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල, අමලි නයණිකා රඹුක්වැල්ල සහ අමලි රඹුක්වැල්ල යන අයගේ ස්වාමිපුරුෂයා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අයවලුන් මෙලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් එම සැකකරුවන් තිදෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඉහත චෝදනාව යටතේ රුපියල් දහතුන් කෝටි හතලිස් ලක්ෂ අනූහත්දහස් හත්සිය තිස් එකයි ශත තිස් නවයක වටිනාකමකින් යුක්ත වත්කම්, රුපියල් මිලියන හතලිහක වටිනාකමකින් යුක්ත මහල් නිවාස සහ රුපියල් ලක්ෂ දෙසිය පහක වටිනාකමකින් යුත් බෙන්ස් වර්ගයේ මෝටර් රථයකට අදාලව මෙහිදී විමර්ශන කටයුතු සිදු කෙරේ.
ඒ අනුව මෙම විමර්ශනයට අදාලව මේ වනවිටත් ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ආයෝජන සැලසුම් 40කට ආසන්න ප්‍රමාණයක් අත්හිටුවා ඇත.
මේ අතර ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළා.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් අනතුරුව ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් ඊයේ (18) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
අනතුරුව ඔවුන් අද (19) දින ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව මුදා හැරීමටයි අධිකරණය නියම කළේ.