සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව නවකවධය බවට මේ වනතෙක් සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම මේ වසරේ ගතවූ මාස 6 තුළ නවකවධ සිද්ධි 30කට අධික සංඛ්‍යාවක් නවකවධ පැමිණිලි විමර්ශන අංශයට වාර්තාවී තිබෙනවා.
සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි චරිත් දිල්ශාන් නම් සිසුවා පසුගිය අප්‍රේල් මස 29 වනදා සියදිවි නසාගෙන තිබුණා.
අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නවකවධ පැමිණිලි විමර්ශන අංශය මගින් ආරම්භ කළා.
එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ සිදුවීමට සම්බන්ධ බවට සැකකෙරෙන එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අදාළ සිදුවීම පිළිබඳව විමර්ශන නිලධාරීන් විසින් සබරගමුව විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ඇතුළු පාර්ශ්ව රැසකින් ප්‍රකාශද සටහන් කරගනු ලැබුවා.
ඒ අනුව මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ, අදාළ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව නවකවධය බවයි.
එමෙන්ම සබරගමුව විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියේ සිටින ඇතැම් උසස් නිලධාරීන් විශ්වවිද්‍යාලය තුළ ඇති නවකවධ සිදුවීම් පිටතට අනාවරණය වීම වළක්වාලීමට කටයුතු කරන බවද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.