බන්ධනාගාරගතව සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් ඔහුගේ බිරිඳ වන සෙනානි ජයරත්න අලුත්ගමගේ සිය හඬ අවදි කර තිබෙනවා.
ඒ, හිටපු අමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් පිටුව හරහා දීර්ඝ සටහනක් බෙදාගනිමින්.
ඇය එම සටහන විස්තර කර ඇත්තේ, හුදෙක් සිය හෘදසාක්ෂියෙන් නිදහස් වීම පිණිස ලියූවක් ලෙසයි.
”හුදෙක් මගේ හෘදයසාක්ෂියෙන් නිදහස් වීම පිණිසම පමණක් මෙසේ සටහන් තබමි. දැන් ඉදින් ඔබ මට එල්ලා ගැසුවත් ගසා එල්ලුවත් කම් නැත; මට තවත් රිදෙන්නට තැන් නැත ! ”
මෙම ලිපියේ අන්තර්ගත කරුණු අතරට, යම් යම් ගෘහස්ථ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ද ඇතුළත්.
ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ ද මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

2015 වසරේ ජනාධිපතිවරණය පැවැති සමයේ ස.තො.ස. ආයතනය හරහා කැරම් බෝඩ් 14000ක් සහ දාම් ලෑලි 11000ක් මිලදී ගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කළ බවට චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස. හිටපු සභාපති සහ හිටපු වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පසුගියදා නියෝග කළා.
ඒ අනුව, හිටපු වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩ සහිත වසර 25ක සිර දඬුවම් සහ හිටපු ඇමති මහින්දානන්ද අලුත් ගමගේට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කරන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.
ඊට අමතරව, නලින් ප්‍රනාන්දුට රුපියල් ලක්ෂ හතරක දඩයක් සහ මහින්දානන්ද අලුත්ගමගේට රුපියල් ලක්ෂ දෙකක දඩයක් ද නියම කරනු ලැබිණ.
මෙම තීන්දුව ලබාදෙනු ලැබුවේ, වසර හයක් තිස්සේ පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි.