කැස්බෑව නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකුගේ ( එජාප) පුතෙකු ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයිි.

එම සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය හා ව්‍යාජ හැඳුනුම්පතද පොලිස් භාරයට ගෙන ඇත.

ව්‍යාපාරිකයකු වන එම පුද්ගලයා සතුව ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් තිබෙන බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතාට ලද රහසිගත තොරතුරකට අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමේදී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සාදාගෙන 2014 වසරේ සිට 2019 වසර දක්වා කොරියා රටට පිටත්ව ගිය බවට අනාවරණය වු බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම දිනවල විදේශගතවීම සඳහා වයස ප්‍රමාණවත් නොවීම හේතුවෙන් කැස්බෑව ප්‍රදේශයේ ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ හිටපු සම්බන්ධ කරන ලේකම්වරයෙකු තම සහෝදරියගේ උපන් වර්ෂයේ යොදා ජාතික හැඳුනුම් පතක් ව්‍යාජ ලෙස සකසා එකී උපන්දිනයට ගුවන් ගමන් බලපත්‍රයක් සාදා තමන් වෙත ලබා දුන් බවත් අනාවරණය කළ බව පොලිසියෙක් සඳහන් කරයි.

සැකකරු පැවසූ පුද්ගලයා සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකළ විමර්ශනයේදී ඔහු මේ වන විට මෙවැනි වංචා සහගත ක්‍රියාවන් රැසකට සම්බන්ධව බන්ධනාගාර ගතව සිටින බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි පුද්ගලයෙකි.සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගල්කිස්ස කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රහ්මණ පොලිස් අධිකාරී රෝහන් පුෂ්පකුමාර මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

(බණ්ඩාරගම- බිමල් ශ්‍යාමන් ජයසිංහ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here