තඹුත්තේගම මහවැලි කලාපයේ ඉඩමක පිහිටි ගසක් කපා ඉවත් කිරීමට අවශ්‍ය බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු ඉඩම් නිලධාරියකුට බරපතළ වැඩ සහිත වසර 22ක සිරදඬුවමක් අද (25) නියම කර තිබෙනවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

මෙලෙස දඬුවම් නියම වුණේ, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි හිටපු ඉඩම් නිලධාරියකු වන  67 හැවිරිදි පුද්ගලයෙක්ට.

අල්ලස් පනතේ 26වන වගන්තිය යටතේ විත්තිකරුට රුපියල් 30,000ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා, අල්ලස් වශයෙන් ලබාගත් මුදල දඩයක් වශයෙන් අය කර ගන්නා ලෙසත් නියෝග කළා.

ඉහත දඩ මුදල ද නොගෙවන්නේ නම් අමතරව වසරක ලිහිල් සිර දඬුවමක්ද විත්තිකරුවන්ට නියම කරන බවත් තීන්දුවේ සඳහන් වනවා.

ඊට අමතරව අගතියට පත් පැමිණිලිකරුට රුපියල් ලක්ෂයක වන්දි ගෙවන ලෙසත් අධිකරණය විසින් විත්තිකරුට නියෝග කළා.

පැමිණිලිකරු විසින් මහවැලි කලාපයේ තිබෙන ඉඩම්වල ගස් මිලදීගෙන ඒවා කපා මොරටුව ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන් වනවා.

මෙසේ මිලදී ගත් ගස් කැපීම සඳහා පැමිණිලිකරු විසින් ප්‍රාදේශීය කාර්යාලයෙන් බලපත්‍රයක් ඉල්ලා සිට ඇති අතර, එම බලපත්‍ර ලබාදීම සඳහා විත්තිකරු විසින් අදාළ අල්ලස් මුදල ඉල්ලා තිබෙනවා.

පසුව 2016 වසරේ මාර්තු මස 14 වනදා අදාළ අල්ලස් මුදල විත්තිකරු විසින් ලබාගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අද තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉල්ලා තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර තිබෙන බවයි.

ඒ අනුව විත්තිකරුට මෙම දඩුවම් නියම කරන බව විනිසුරුවරයා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here