.

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස නිදහස්කර
ගැනීමට මැදිහත් වන ලෙස තමිල්නාඩු මහා ඇමතිවරයා ඉන්දීය මධ්‍යම රජයෙන්
ඉල්ලා සිටිනවා.

ඊයේ (29) අලුයම උතුරු මුහුදේදී නීති විරෝධිව මෙරට මුහුදු සිමාවට ඇතුළුවූ
ඉන්දීය ධීවරයින් 8 දෙනෙක් සහ ඔවුන්ගේ යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාවෙන්
අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ පිළිබඳව අවදානය යොමුකරන තමිල්නාඩු මහා ඇමති එම්.කේ.ස්ටාලින් කියා
සිටින්නේ මෙම ධිවරයින් නිදහස් කිරීමට මධ්‍යම රජය මැදිහත් විය යුතු බවයි.

ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම හෙළා දකින තමිල්නාඩු මහා ඇමතිවරයා
ගැටලුවට ස්ථිර විසඳුමක් ගෙන ඒමට කටයුතු කරන ලෙස මධ්‍යම රජයෙන් ඉල්ලා
සිටිනවා.

සෙනසුරාදා (ජුනි 28) බෝට්ටු 466 කට ටෝකන් නිකුත් කර ඇති බවත් වර්කෝඩු,
මණ්ඩපම් සහ රාමේෂ්වරම් යන ප්‍රදේශවලින් පැමිණි ධීවරයින් මුහුදට ගොස් ඉරිදා
වෙරළට පැමිණීමට නියමිතව සිටි බවත් තමිල්නාඩු බලධාරීන් පවසනවා.

ධනුෂ්කොඩි සහ තලෙයිමන්නාරම අසල ධීවරයින් ධීවර කටයුතුවල නිරතව සිටි
බවත්, එම කාලය තුළ ඔවුන් ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් විසින් ඔවුන්
අත්අඩංගුවට ගත් බවත් සඳහන් කරනවා.

මේ පිළිබඳව තමිල්නාඩු මහා ඇමති එම්.කේ.ස්ටාලින් කරුණු දක්වා ඉන්දීය විදේශ
කටයුතු අමාත්‍ය එස්. ජෙයශන්කර් ලිපියක් යොමු කොට ඇත.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ඔවුන්ගේ ධීවර බෝට්ටුව ආරක්ෂිතව ආපසු ගෙන්වා
ගැනීම සහතික කරන ලෙසත්, ධීවර කටයුතු ආශ්‍රිත ගැටළු සම්බන්ධයෙන් කටයුතු
කිරීමේදී ශ්‍රී ලංකා බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයක්
ගන්නා ලෙසත් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් විදේශ කටයුතු අමාත්‍ය
එස්. ජයශංකර් වෙත යවා ඇති ලිපියෙන් ඉල්ලා සිටිනවා.

වාර්ෂික ධීවර තහනම් කාලය අවසන් වී ධීවර සමය නැවත ආරම්භ වීමත් සමඟ,
අපගේ ධීවරයින් ජීවනෝපාය උපයා ගැනීමේ අපේක්ෂාවෙන් නැවත මුහුදට ගිය බව
ස්ටාලින් මහතා සිය ලිපියේ සඳහන් කරනවා.

ධීවර සමය ආරම්භ වී ඇති බව සලකන විට, ධීවර කටයුතු ආශ්‍රිත ගැටළු
සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සංයමයෙන් හා අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු
කිරීම සහතික
කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ ක්‍රියාකාරී රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයක්
ආරම්භ කරන ලෙසද මහ ඇමතිවරයා මධ්‍යම රජයේ විදේශ කටයුතු
අමාත්‍යාවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

මේ අතර නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම මුහුදේදී අත් අඩංගුවට ගැනීමෙන්
පසුව මන්නාරම අධිකරණයට ඉදිරිපත් කළ ඉන්දීය ධීවරයින් 8 දෙනා ජූලි මස 3 වෙනිදා
දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ලෙස මන්නාරම් මහේස්ත්‍රාත්වරයා නියෝග කොට
තිබෙනවා.

මේ ඉන්දීය ධීවරයින් පිරිසට ඊට පෙර උතුරේ යම් අධිකරණයකින් ලබා දෙන ලද පෙර
දඩුවම් ඇත්දැයි යන්න සොයා බැලීමට මන්නාරම ධීවර නිලධාරීන් විසින් කටයුතු කරනු
ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here