බොලිවුඩයේ රජු, එහෙමත් නැත්නම් ‘King Khan’ මැයෙන් ලොවක් හඳුනන, සුපිරි ඉන්දීය නළු ෂාරුක් ඛාන් ලංකාවට පැමිණෙන බවට නිල නොලත් ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කර තිබෙනවා.
ඒ, එළඹෙන අගෝස්තු 2 වැනිදා.
ෂාරුක්ගේ මෙම පැමිණීම සිදුවන්නේ, කොළඹදී විවෘත කිරීමට නියමිත City of Dreams කැසිනෝ ශාලාව සහ එහි අවසන් අදියර විවෘත කිරීමේ උත්සවය වෙනුවෙන් බවයි වාර්තා වන්නෙ.
ඊට අනුමාන කිරීම් සහිත යම් යම් ඉඟි, City of Dreams Sri Lanka සහ Cinnamon Life හි නිල සමාජ මාධ්‍ය පිටුවල දක්නට ලැබෙනවා.
ඒ, ”A special someone is on the way. This one’s going to be iconic. 👑” යන සඳහනත් සහිතවයි.
ඊට උපයෝගී කරගෙන ඇති සෙවණැලි රූපය බොලිවුඩයේ රජුට සමාන වීමයි ෂාරුක්ගේ මෙම ලංකා සංචාරය පිළිබඳව කතාබහට හේතුව වී ඇත්තේ.
නිල තහවුරු කිරීමක් නිකුත් කර නොමැති නමුත්, සංවිධායකයින්ට සමීප ආරංචි මාර්ගවලට අනුව ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) විසින් Melco Resorts & Entertainment (MRE) සමඟ හවුල්කාරිත්වයෙන් සිදුකරන ලද දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ සුඛෝපභෝගී නිවාඩු නිකේතනය දියත් කිරීමේ කටයුත්ත මෙය වන අතර ඊට ෂාරුක්ගේ පැමිණීම, ප්‍රබලතම තරු ආකර්ෂණයක් වනු ඇති බව නොඅනුමානයි.
පෞද්ගලික අංශයේ දැවැත්ත ආයෝජනයක් වන මෙය, මෙරට මෙතෙක් සංචාරක සහ විනෝදාස්වාද කර්මාන්තයේ සිදු වූ විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස ද දැක්විය හැකියි.
එමෙන්ම එය ගෝලීය සංචාරක සහ විනෝදාස්වාද ගමනාන්තයක් ලෙස ‘කොළඹ නගරය’ ස්ථානගත කිරීමේ සන්ධිස්ථානයක් ද වනු ඇති.
අමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක ආයෝජනයක් සහිත මෙම City of Dreams ව්‍යාපෘතියට ජාත්‍යන්තර මට්ටමේ කැසිනෝ ශාලාවක්, අති සුඛෝපභෝගී Nüwa හෝටලයක් සහ ඉහළ මට්ටමේ සාප්පු සංකීර්ණයක් ද ඇතුළත් බව සඳහන්.