1955 වසරේදී ‘මිස් සිලෝන්’ කිරුළ දිනා, එම වසරේදී ම ‘මිස් යුනිවර්ස්’ හි මෙරට නියෝජනය කරමින්, එහි දෙවන අනුශූරතාව දිනූ මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් (Maureen Neliya Hingert) මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
වෘත්තීයමය වශයෙන් ඇය ප්‍රකටව සිටියේ ‘ජනා ඩාවි’ (Jana Davi) ලෙසයි.
මිය යන විට ඇය 88 වන වියේ පසුවූවා.
ඇයගේ අභාවය ජනප්‍රිය නිලි ඇන්ජලා සෙනවිරත්න සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ නිවේදනය කර තිබෙනවා.
නිළියක්, නර්තන ශිල්පිනියක්, නිරූපිකාවක් වූ මොරීන් හින්ගර්ට් උපත ලබන්නේ, 1937 වසරේ ජනවාරි 9 වැනිදා කොළඹදීයි.
ඇගේ දෙමාපියන් වන ලයනල් හින්ගර්ට් සහ ලෝර්නා මේබල් ලන්දේසි බර්ගර් පරම්පරාවෙන් පැවත එන්නන් වූ අතර තේ වතු හිමිකරුවෙක් වූ ඇගේ පියා ලංකා බැංකුවේ සේවකයෙකි.
මොරීන් හින්ගර්ට් වයස අවුරුදු දහඅට වන තෙක් කොළඹ බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ පාසල් අධ්‍යාපනය ලැබූ බවත් පසුව එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හි අධ්‍යාපන කටයුතුවල නියැලුණු බවත් සඳහන්.
1955 දී, ඈ මිස් සිලෝන් කිරුළ දිනා ගත් අතර පසුව 1955 මිස් යුනිවර්ස් තරඟයේ දෙවන අනුශූරිය බවට පත්වෙමින්, ජාත්‍යන්තර රූ රැජින වේදිකාවක එවන් ශූරතාවක් දිනූ පළමු ලාංකික නියෝජිතවරිය බවට පත්විය.
මොරීන් හින්ගර්ට් එලෙස ලද සුවිශේෂී ජයග්‍රහණය ඇයට හොලිවුඩයට දොරටු විවර කළ අතර, 1958දී ඇය “Gun Fever” නම් හොලිවුඩ් චිත්‍රපටයට රංගනයෙන් එක්වන්නේ ඒ අනුවයි.
පසුව ඇය ’20 Century Fox’ හා ‘Universal International Studios’ යන ප්‍රකට චිත්‍රපට සමාගම් සමඟ ගිවිසුම්ගතව චිත්‍රපට සදහා දායක වූ බව සඳහන්.
ඇය රඟපෑ සිනමාපට අතරට The King and I, Fort Bowie, Gun Fever, The Adventures of Hiram Holiday, Moroccan Halk Moth, Pillars of the Sky, Dangerous Search, Gunmen from Laredo, The Rawhide Trail යනාදිය අයත්.
එමෙන්ම ඇය බ්‍රිතාන්‍ය රූපවාහිනී කතා මාලාවලට ද රංගනයෙන් එක්ව තිබේ.
නර්තන ශිල්පිනියක් ද වූ ඇය, ලොස් ඇන්ජලීස් හි ෂ්‍රයින් ශ්‍රවණාගාරයේ සහ ලොස් ඇන්ජලීස් තවත් ප්‍රධාන රඟහලවල ඒකල රංගනයන් ඉදිරිපත් කළ බවත් සඳහන් වනවා.
Marion Zamperelli සමඟ මොරීන් හින්ගර්ට්ගේ විවාහය සිදුවන්නේ, 1958 වසරේදීයි.
1970 දී ඔහුගෙන් වෙන්වන ඇය William J. Ballard සමඟ විවාහ වූ බව සඳහන්.
දියණියන් තිදෙනෙකුගේ මවක් වුණු ඇය, සිය දියණියක පිළිකා රෝගයෙන් මිය යාමත් සමඟ මාධ්‍යයෙන් දුරස් හුදකලා ජීවිතයක් ගෙවූ බවයි කියවෙන්නේ.