එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පසුගියදා මෙරට සංචාරය අතරතුරදී සිදු කළ “සමලිංගික සබඳතා අපරාධයක් නොවන බවට පනත් කෙටුම්පත මම සාදරයෙන් පිළිගන්නවා” යන ප්‍රකාශය මෙරට සංස්කෘතියට දැඩි බලපෑමක් වන බව පවසා ඊට එරෙහිව මැදිහත් වන ලෙස ඉල්ලා ජන අරගලයේ පුරවැසියෝ සංවිධායනය මල්වතු පාර්ශවයේ මහනායක හිමියන්ට අද (02) ලිපියක් භාර දී තිබේ.

එම ලිපිය මගින් එම සංවිධානයේ ප්‍රධාන ලේකම් චානක බණ්ඩාර ගුණතිලක ඉල්ලා ඇත්තේ සමරිසි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරයා කළ ප්‍රකාශය ඉතාමත් අවධානම් සහගත බවය.

කෙසේ වෙතත් එම ලිපිය භාර ගැනීමෙන් අනතුරුව මල්වතු මහා විහාර පාර්ශවයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් මහ කොමසාරිස්වරයා කළ ප්‍රකාශයට දැඩි විරෝධය පළ කළ බවත් ඒ සම්බන්ධයෙන් කඩිනමින් ජනාධිපතිවරයා සමග කතා කරන බවට ප්‍රකාශ කළ බවත් ප්‍රධාන ලේකම්වරයා සදහන් කළේය.

ඊට අමතරව වත්මන් රජයේ පවතිනවා යැයි සැලකෙන අර්බුදයන් රැසක් සම්බන්ධයෙන්ද අදාල ලිපිය මගින් මහනායක හිමියන්ව දැනුවත් කර තිබේ.

ඒ අනුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වූ ගැටළුවලදී රජයේ වගකිව යුතු බලධාරීන් කරන නොසැලකිලිමත් ප්‍රකාශ නිසා වසරේ ගත වූ මාස හයක කාලය තුළ මනුෂ්‍ය ඝාතන සහ වෙඩි තැබීම් ඉහළ ගොස් ඇති බවද එම ලිපියේ දැක්වේ.

එමෙන්ම පරීක්ෂාවකින් තොරව කන්ටේනර් නිදහස් කිරීම, යාපනයේ තිස්ස විහාරයේ ඉඩම් අර්බුදය, අධ්‍යාපනික ගැටළු, මෙරට වටිනා සම්පත් වෙනත් රාජ්‍යන්ගේ ග්‍රහණයට ලක්වීම ඇතුළු ගැටළු ගණනාවක් පිලිබදව අදාළ ලිපිය මගින් පෙන්වා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here