වෙන්නප්පුව බෝලවත්ත ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී කේරළ කංසා තොගයක්
සහ ගිනි අවි සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය
නාශක කාර්යාංශය එක්ව ඊයේ (02) වෙන්නප්පුව බෝලවත්ත ප්‍රදේශයේ මෙම විශේෂ
ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම සිදුකොට තිබෙනවා.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත ලද විශ්වසනීය බුද්ධි තොරතුරකට අනුව
මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම සිදුකොට ඇත.

මෙහිදී සැකකටයුතු කැබ් රථයක් පරික්ෂාකොට කේරළ කංසා කිලෝ ග්‍රෑම් 900 කට අධික
තොගයක් සමඟ විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල දෙකක් (02), මැගසින් හතරක් (04), ජීවි
උණ්ඩ හතලිහක් (40) සොයාගෙන තිබෙනවා.

පසුව එම කැබ් රථය සහ එම ජාවාරමට සම්බන්ධ තවත් මෝටර් රථයක් සමඟ සැකකරුවන්
තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා.

අත්අඩංගුවට ගත් කේරළ කංසා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන දෙසීය දෙකකට
(202) අධික වෙතැයි සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 44 ත් 51 ත් අතර වයසේ පසුවන අනුරාධපුර උලුක්කුලම
පොතානේගම සහ නොච්චියාගම යන ප්‍රදේශයන්හී පදිංචි කරුවන් බවට හඳුනා ගෙන තිබෙනවා.

එම සැකකරුවන්, කේරළ කංසා තොගය, පිස්තෝල අවි, මැගසින් හා ජීවි උණ්ඩ, කැබ් රථය සහ
මෝටර් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඔ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට
පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here