හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් කොමිසම මගින් සිකුරාදා (ජූලි 04) පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.
ඒ, 2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩ ඉරිඟු බීජ බෙදා දීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
මේ අතර, මේ වසරේ අප්‍රේල් 2 වන දා ඔහුගේ සහෝදරයා වන එස්.එම්. රංජිත් සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන, එනම් එස්.එම්. චන්ද්‍රසේනගේ බිරිඳ අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනු කරනු ලැබ තිබූ චෝදනාවලට වරදකරුවන් වූහ.
ඔවුන්ට කොළඹ මහාධිකරණය ලබා දුන් තීන්දුව අනුව බරපතළ වැඩ සහිත වසර 16ක සිර දඬුවම් නියම විය.
එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට ගත් චෝදනාව කුමක් ද?
‘2014 වර්ෂයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහනදායී මිලට ලබා දීම සඳහා රජයේ රු. මිලියන 25ක වියදමින් ගෙන්වන ලද බීජ බඩ ඉරිඟු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්ට බලපෑම් කරමින් 2015 ජනාධිපතිවරණයට වාසි ලබා ගැනීමේ අරමුණින් තම දේශපාලන හිතවතුන් මගින් බෙදා දීම තුළින් රජයට පාඩුවක් සිදු කිරීම මත එවකට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා හා විශේෂ ව්‍යාපෘති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමරකෝන් මුදියන්සේලාගේ චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන ඇත’.
අදාළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් කොමිසම වෙත පැමිණීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගනු ලැබී ය.
එම කොමිසම වෙත පැමිණෙන අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, “බඩ ඉරිඟු බෙදුවා ගොවියන්ට, ඒකයි ආවේ,” යනුවෙනි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ය.
ඔහු සම්බන්ධ ආන්දෝලන මොනවා ද?
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපය හා ඊට යාබදව පිහිටි ඉඩම් අක්කර 1500ක් යොදා ගනිමින් සිදු කෙරුණු ‘කෝමාරිකා’ වගා කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු නීති විරෝධී යැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළත් එවකට පරිසර විෂය භාරව සිටි කැබිනට් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන එය පිළි නොගෙන ක්‍රියාකිරීම ගැන 2020 වසරේ පරිසරවේදීන් අතර කනස්සල්ලක් ඇති කිරීමට හේතු විය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නීති විරෝධී බව පවසන මෙම ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට විශේෂ ආරාධිතයෙකු ලෙස ඔහු සහභාගි වීම ද සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංවාදයට තුඩු දීමට හේතු විය.
එමෙන් ම, පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්ථාවරය නොතකා රනිල් වික්‍රමසිංහට සහය දීම හේතුන් ඔහු සමග පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන පක්ෂයෙන් නෙරපූ බව සඳහන් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ලිඛිතව දැනුම් දී තිබිණි.
කෙසේ වෙතත්, පසුව ඔහු සර්වජන බලය පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේ ය.
මේ අතර, එස්.එම්. චන්ද්‍රසේනගේ සහෝදරයා වන උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්ට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ එස්.එම්. චන්ද්‍රසේනගේ බිරිඳට ශාන්ති චන්ද්‍රසේනට කොළඹ මහාධිකරණය අප්‍රේල් 2 බරපතළ වැඩ සහිත වසර 16 ක සිර දඬුවම් නියම කළේය.
2012 වසරේ සැප්තැම්බර් මස 27 වන දා සහ 2014 වසරේ දෙසැම්බර් මස 31 වන දා අතර කාල සීමාව තුළ විත්තිකාර එස්.එම්. රංජිත් එම පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ප්‍රධාන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරියගේ වැටුප සමග ඉන්ධන දීමනාවක් එක් කර තිබියදී එය අභිබවා නීති විරෝධී ලෙස ඉන්ධන දීමනා වශයෙන් රුපියල් ලක්ෂ 26කට අධික ඉන්ධන ප්‍රමාණයක් ලබා ගැනීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් වන චෝදනාවට ඔවුහු වරදකරුවන් වූහ.
අල්ලස් කොමිසම විසින් ඊට අදාළ නඩුව ගොනු කරනු ලැබ තිබිණි.
මේ අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නුවර වැව රක්ෂිතයේ ඉඩම් එස්.එම්. චන්ද්‍රසේනගේ බිරිඳ, හිටපු අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ ඔහුගේ බිරිඳ විසින් අත්පත් කරගනු ලැබ ඇති බවට පසුගියා පාර්ලිමේන්තුවේදී චෝදනා එල්ල විය.
අනුරාධපුර නුවර වැවේ රක්ෂිතය ගොඩ කරමින් හෝටලයක් සහ පිහිනුම් තටාකයක් ඉදි කිරීමට විරෝධය පළ කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් පිරිසක් විරෝධතාවක නිරත වූ බවට මාධ්‍ය වාර්තා කර ඇත.
එම වාර්තාවල දැක්වෙන්නේ, ගොවි පවුල්වල පානීය ජල අවශ්‍යතාව සපුරා ගන්නා අනුරාධපුර නුවර වැව් රක්ෂිතය හිටපු ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන විසින් ගොඩ කරමින් සිටින බවට උද්ඝෝෂකයින් චෝදනා කළ බව ය.
එස්.එම්. චන්ද්‍රසේන දැරූ ඇමති ධූර
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියට අනුව, වසර 22ක කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඔහු අවසන් වරට අමාත්‍ය ධූරයක කටයුතු කළේ, ගෝඨාභය රාජපක්ෂ රජයේ ය. එවකට ඔහු ඉඩම් අමාත්‍යවරයා ලෙස 2020 වසරේ සිට 2022 වසර දක්වා එම ධූරයේ කටයුතු කළේ ය.
එමෙන් ම ඔහු මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යටතේ ද අමාත්‍ය ධූර දැරීය.
2019 – 2020 දක්වා පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස ත්, 2018 වසරේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස ත්, එම වසරේ ම සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් එස්.එම්. චන්ද්‍රසේන කටයුතු කළේ ය.
2013 – 2015 දක්වා විශේෂ ව්‍යාපෘති අමාත්‍යවරයා ලෙස සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලෙස ද ඔහු කටයුතු කළේ ය.
ඔහු 2012 – 2013 දක්වා ගොවිජන සේවා හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය ධූරය දැරීය.
2010 – 2012 දක්වා ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යවරයා ලෙස සහ 2010 වසරේදී ම වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද ඔහු කටයුතු කළේ ය.
2007 – 2010 දක්වා ජාතිය ගොඩනැගීමේ අමාත්‍යවරයා ලෙසත් 2005 – 2007 දක්වා ගොවිජන සේවා සහ ගොවි ප්‍රජා සංවර්ධන අමාත්‍යවරයා ලෙස ත් ඔහු කටයුතු කළේ ය.
එමෙන් ම ඔහු 2004 – 2005 දක්වා කාන්තා සවිබල ගැන්වීම් සහ සමාජ ශුභභසාධන නියෝජ්‍ය අමාත්‍ය ධූරය දැරීය.
(උපුටා ගැනීම – BBC සිංහල වෙබ් අඩවිය)