ආරක්‍ෂක අමාත්‍යාංශය, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පූර්ණ සහයෝගය ලබා දෙමින්, ඊයේ (ජූලි 04) සවස කඳාන, වත්තල සහ රාගම පොලිස් බල ප්‍රදේශවල විශේෂ ඒකාබද්ධ ආරක්‍ෂක මෙහෙයුමක් දියත් කර තිබුණා.

ප්‍රජා ආරක්‍ෂාව තහවුරු කිරීම, නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ උත්සාහයන් කෙරෙහි මහජන විශ්වාසය යළි ඇති කිරීම මෙම මෙහෙයුමේ අරමුණ බවයි ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව ප්‍රදේශ පුරා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබිණ.

නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා වන සියලු රාජ්‍ය ආයතන අතර ශක්තිමත් අන්තර් සහයෝගීතාවයක් පවත්වා ගැනීමද මෙම මෙහෙයුම මගින් අරමුණු කරන ලදි.

මෙහෙයුම අතරතුර, මාර්ග බාධක යෙදීම මගින් වාහන සහ පුද්ගලයින් අහඹු ලෙස පරීක්‍ෂා කිරීම, නිවාස සෝදිසි කිරීම් සහ නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු ප්‍රධාන පියවර කිහිපයක් ක්‍රියාත්මක කරන ලදි.

මෙම ක්‍රියාමාර්ග විධිමත් වෘත්තීයභාවයකින් සහ විනය ආරක්‍ෂා කරගනිමින් සිදුකරන ලද අතර, මහජනතාවට අවම බාධාවක් සහිතව සිදුකළ බවයි ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

පුරවැසියන් සඳහා ආරක්‍ෂිත පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අදාළ සියලුම ආයතන සමඟ සමීපව කටයුතු කිරීමට ආරක්‍ෂක අමාත්‍යංශය කැපවී සිටින බවත් දිවයින පුරා තිරසාර සාමය සහ මහජන ආරක්‍ෂාව සහතික කිරීම සඳහා හඳුනාගත් අනෙකුත් ප්‍රදේශවල ද මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇති බවත් එහි සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here