කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඉදිරියේ දී ජාත්‍යන්තරව පිළිගත් ආරක්ෂක විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය ආයෝජන සිදුකිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පසුගියදා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් කොතලාවල විශ්වවිද්‍යාලයට වෛද්‍ය සිසුන් ඇතුලත් කර ගැනිම පිළිබද මේ දිනවල දැඩි කතා බහක් සමාජය තුළ නිර්මාණය වී තිබෙනවා.

මීට පිළිතුරු සපයමින් වෛද්‍ය පීඨයට සිසුන් ඇතුලත් කර ගැනීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පසුගිය ජූනි 23 වනදා අමාත්‍ය මණ්ඩලය ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට කටයුතු කළා.

එම කමිටුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් බඳවා ගැනිමේ ප්‍රතිපත්තිය හා අනෙකුත් කරුණු පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කළා.

මෙම නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කළ කමිටුවේ සභාපති ධුරය දරන්නේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතායි.

අධ්‍යාපන,  උසස් අධ්‍යාපන,  වෘත්තිය අධ්‍යාපන ලේකම් නාලක කලුවැව,  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් මෙහි අනෙකුත් සාමාජිකයින් වනවා.

ඒ අනුව සිසුන් බදවා ගැනිමේ ප්‍රතිපත්ති හා නිර්දේශ අතරට කරුණු 10ක් අදාළ වනවා.

එක් වර්ෂයක් සඳහා එක් වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමක් පමණක් බඳවා ගැනීම,  එම බඳවා ගන්නා සමස්ත වෛද්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව 150කට සීමා වීම මෙන්ම ගෙවීමේ පදනම මත බඳවා ගන්නා දේශීය සිවිල් වෛද්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව උපරිම වශයෙන් 100ක් වීම නිර්දේශවලට ඇතුලත්.

වෛද්‍ය ශිෂ්‍යයින් බදවා ගැනිමේ දී ත්‍රිවිධ හමුදා සිසුන්,  විදේශීය සිසුන් හා දේශීය සිසුන් යන අනුපිළිවෙලට ප්‍රමුඛතාව ලබාදෙනවා.

මෙහි කළමනාකරණ මණ්ඩලය විසින් තීරණය කරනු ලබන පරිදි වෛද්‍ය සිසුන් බඳවා ගැනිමේ නිර්ණායකයක් වශයෙන් 1.4000ක් හෝ ඊට ඉහළ අවම ඉසෙඩ් අගයක් පවත්වා ගැනීමට කටයුතු කරනු ඇති.

බඳවා ගන්නා සෑම දේශිය සිවිල් වෛද්‍ය සිසුන් කණ්ඩායමකම 10%ක ප්‍රතිශතයක් පූර්ණ ශිෂ්‍යත්ව මත බඳවා ගැනීමට කටයුතු යොදනු ලබන අතර එම සිසුන් අධ්‍යාපන,  උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය හරහා තෝරා ගැනීමටයි කටයුතු කෙරෙන්නේ.

මෙසේ බඳවා ගන්නා සිසුන්ට විවෘත විශ්වවිද්‍යාලය හැර අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල පූර්ණ කාලීන අභ්‍යන්තර ශිෂ්‍යයින් වශයෙන් ලියාපදිංචි වීමටත් විවෘත විශ්වවිද්‍යාලය හැර අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල පූර්ණ කාලීන අභ්‍යන්තර ශිෂ්‍යයින් වශයෙන් ලියාපදිංචි වී ඇති ශිෂ්‍යයින්ට ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ලියාපදිංචි වීමටත් අවස්ථාව හිමි නොවුනු ඇත.

පාඨමාලාවට සහභාගී වන සිවිල් සිසුන් සඳහා විශේෂ නිල ඇදුමක් අනිවාර්ය නොකරන බවත් අනෙකුත් වෛද්‍ය පීඨවල සිසුන් විශ්වවිද්‍යාල දේශන සදහා සහභාගී වන අයුරින්ම ඔවුන්ට ද දේශන සදහා සහභාගී වීමට අවස්ථාව ලබාදී ඇත.

මෙම සිසුන්ට සායනික පුහුණුව සදහා සුදුසු පරිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් රෝහල් නිශ්චිතව තෝරා වෙන් කිරීමට කටයුතු සිදුකරනු ඇති බවත් නිර්දේශ අතර සඳහන්.

මෙම සිසුන් රජයේ රෝහල්වලට බඳවා ගන්නා බවට වගකීමක් කොතලාවල විශ්වවිද්‍යාලය විසින් භාර නොගන්නා අතර එම බඳවා ගැනීම් පවතින පුරප්පාඩු අනුව පමණක් සිදුකරන බවට එකඟතාවක් සිසුන් ලියාපදිංචි කිරිමේ දී ලබා ගැනිමට කටයුතු කිරීම ද සිදුවේ.

අවසාන නිර්දේශය අදාළ වන්නේ වෛද්‍ය පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය වෙතටයි.

ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති වෛද්‍ය පීඨ අධ්‍යයන කාර්ය මණ්ඩලයන් හි සේවය කළ නිලධාරීන් එම කාර්ය මණ්ඩල සේවයෙන් ඉවත්ව වසර 5ක කාලසීමාවක් ගත වු පසුව පමණක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා බඳවා ගැනීමට කටයුතු කරනු ඇති බවත් සප්ත වාර්ෂික නිවාඩු ලබා ගැනිමේ දී හා සේවයෙන් විශ්‍රාම ගැනිමේ දී මෙම කොන්දේසිය අදාළ නොවන බවත් නිර්දේශයේ සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here