කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ලකෑමේ නිරත යුද හමුදා සක්‍රීය සේවයේ නියුතු බලලත් නිලධාරියෙකු මහනුවර මූලස්ථාන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඉකුත් 30 දින මහනුවර වැව රවුමේදී කාන්තාවකගේ ගෙල බැඳී රන් මාලය කඩාගෙන යතුරුපැදියකින් පලා ගිය පුද්ගලයකු පිළිබඳ සිදුකළ CCTV කැමරා පරීක්ෂාවකින් අනතුරුව මොහු තලාතුඔය මොරගොල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී ඇත.
අදාළ පුද්ගලයා පිළිබඳ රහසිගත විමර්ශනයක් සිදු කළ මහනුවර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාට දැනගන්නට ලැබී ඇත්තේ සැකකරු වසර 20 ක් පමණ යුධ හමුදා සේවයේ නියුතු මේ වන විටද වැලිඔය ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සක්‍රීය සේවයේ නියුතු බලලත් නිලධාරියකු බවය.
උපාය දූතයෙකු යොදවා අදාළ සැකකරු මහනුවර නගරයට ගෙන්වා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ මොහු නිවාඩු ලැබ පැමිණ රන්මාල කොල්ලකෑමේ නිරත වන්නෙකු බවය. ඔහු විසින් මහනුවර වැව රවුමේදී කොල්ල කන ලද රන්මාලය මෙන්ම මහනුවරට නුදුරු ප්‍රදේශයකදී කාන්තාවකගෙන් කොල්ල කන ලද රුපියල් ලක්ෂ 05 ක් පමණ පමණ වටිනාකමින් යුත් තවත් මාලයක්ද මහනුවර හා ගලහා ප්‍රදේශයේ උගස් මධ්‍යස්ථානවලට උගස් කොට තිබියදී සොයා ගැනීමට ද පොලිසිය සමත්ව ඇත.
මොහු විසින් මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව තවත් රන්මාල කොල්ලකා ඇති බවට සැක කරන පොලිසිය ඒ සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මූලිකත්වයෙන් විමර්ශනය කරන අතර මොහු කලෙක සිට රන් මාල කොල්ලකා එම මුදල් අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක නීති විරෝධී පිරමිඩ මුදල් ජාවාරමකට ආයෝජනය කොට ඇති බවද මහනුවර මූලස්ථාන පොලිසිය කියයි.
සැකකරු මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස (07 ) අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට ඇති අතර එදින මොහු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.
(කමල් සුරවීර – මහනුවර)