පසුගිය 2023 සහ 2024 වසර දෙක තුළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදල විසින් ආරම්භ කර තිබෙන අතර, ඒ අනුව දකුණු පළාතේ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන් ඇගයීම රුහුණු විශ්වවිද්‍යාලයීය රබින්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේ දී අද (06) පෙරවරුවේ පැවැත්විණි.

මෙහිදී ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල 2023 හා 2024 වර්ෂවලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂයධාරා 06 යටතේ ඉහළ ප්‍රතිඵල ලබාගත් සිසුන් 10 දෙනෙකු බැගින්, සිසුන් 361 දෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් පිරිනැමීම සිදු කෙරිණි. මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 36.1කි. මෙම වැඩසටහන සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මෙහි පළමු පියවර උතුරු පළාතෙන් ආරම්භ කෙරිණි.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ නව රජය බලයට පැමිණීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල විධිමත් කරමින් එහි සේවා පුළුල් කිරීමටත්, විනිවිදභාවය ඇති කිරීමටත් කටයුතු කර තිබෙන බවයි. අතීත භාවිතයන් තුළ තිබු වැරදි, නිවැරදි කරමින් අද සැබෑ ලෙසම එහි ප්‍රතිලාභ ලැබිය යුතු පිරිස් වෙත ලබා දීමට කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා ජනාධිපති අරමුදලේ සේවා වඩා කාර්යක්ෂම කිරීම සඳහා එය ඩිජිටල්කරණය කිරීමට මෙන්ම ප්‍රාදේශීය වශයෙන් විමධ්‍යගත කිරීමටද මේ වන විට කටයුතු කර තිබෙන බව සඳහන් කළේය.

දරුවන්ට ජීවිතය ජය ගැනීමට තිබෙන ප්‍රධානතම මෙවලම අධ්‍යාපනය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, දරුවන් වෙත හිමි වන මෙම ප්‍රතිලාභය නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන අධ්‍යාපනයේ විශිෂ්ටයන් ලෙස මෙන්ම යහපත් පුරවැසියන් ලෙස ජීවිතය ජය ගෙන, රටත්, ජාතියත් ජයග්‍රහණය කරවීමට දරුවන් කටයුතු කළ යුතු බව වැඩිදුරටත් සඳහන් කළේය.

මෙතෙක් කල් පැවැති ජනාධිපතිගේ අරමුදල ජනතාවගේ අරමුදල බවට පත් කිරීමට වත්මන් ආණ්ඩුවට හැකිවූ බවත් එය ජනතාවගේ හිත සුව පිණිස සේවාවන් සපයන ආයතනයක් බවත් පත්කිරිමට හැකිව තිබෙන බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෙහිදී කියා සිටියේය.

දේශපාලනඥ හෙංචයියන්ගේ ප්‍රතිකාර හා සංචාර සඳහා ජනාධිපති අරමුදල අවභාවිතා වී ඇති බවට තොරතුරු තිබෙන බවත් එය අද වන විට ජනතා සුබසාධන ආයතනයක් බවට පරිවර්තනය කළ බවත් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here