කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙසින් පෙනී සිටිමින් මහජනතාව මංකොල්ලකෑ පුද්ගලයන් තිදෙනකු පසුගිය 13 වැනිදා අත්අඩංගුවට ගැනීමට සමත් වුණා.
මොවුන් තිදෙනා වයස අවුරුදු 38,47,70 ගණන් වල පසු වන්නන් බවයි පොලිසිය කියා සිටියේ.
මේ අතරින් 70 හැවිරිදි වියේ පසුවන සැකකරු කොළඹ මහ නගර සභාවේ විශ්‍රාමික නිලධාරීවරයෙකු වන අතර ඔහු කොළඹ මරදාන සීමන්ස් පෙදෙසේ පදිංචිකරුවෙකි.
38 හැවිරිදි අනෙක් සැකකරු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර 47 හැවිරිදි සැකකරු කොළඹ , බොරැල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි.
තිදෙනාගෙන් 70 වියේ පසුවන්නා විසින් ඉලක්ක කරන වයෝවෘද්ධ පුද්ගලයෙකු සමග කතාවකට මුල පුරණ අතර , සෙසු දෙදෙනා ත්‍රිරෝද රථයෙන් ඔවුන් අසළට පැමිණ තමන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් බව පවසා , ඔවුන් ත්‍රිරෝද රථයට නංවා ගෙන , එම වයෝවෘද්ධ පුද්ගලයන් සතු කනකර ආභරණ මංකොල්ලකා , ඔවුන් ද මහමග දමා පළා යාම සිදු කිරීම කර ගෙන ගොස් තිබෙනවා.
මොවුන් තිදෙනා පිළිබඳව වයෝවෘද්ධ කාන්තාවක විසින් ඉකුත් 08 වැනි දින සිදු කළ පැමිණිල්ලකට අනුව ආඩිඅම්බලම , වල්පොල ප්‍රදේශයේ මංකොල්ලකෑමකට සූදානම් වෙමින් සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.මොවුන් තිදෙනා විසින් කිරිදිවැළ , කිරුලපන , කටාන , වෙන්නප්පුව , අවිස්සාවේල්ල , යක්කල , පෑලියගොඩ , ආදුරුප්පු වීදිය , මරදාන , පන්නල සහ කොටහේන යන පොලිස් බල ප්‍රදේශ තුළ ද සිදු කර තිබූ මංකොල්ලකෑම් පිළිබඳ පැමිණිළි වාර්තා වී ඇති බව කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන ඇත.
පසුගිය 13 වැනි දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෙම සැකකරුවන් ඉදිරිපත් කර තිබූ අතර එහිදී දින 07 ක කාලයක් රදවා තබා ගෙන ප්‍රශ්න කිරීම සදහා කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට අවසර ලැබී තිබෙනවා.