
බ්රිතාන්යයේ ඔටුන්න හිමි 13 හැවිරිදි ජෝර්ජ් කුමරු (Prince George) ඊයේ සිය නව පාසල් වාරය වෙනුවෙන්, 'ඊටන් උසස් පාසලට' (Eton College) ඇතුළත් වුණා.
ඒ අනුව, විලියම් කුමරු සහ කේට් කුමරිය, නිල වශයෙන් ජෝර්ජ් කුමරු නේවාසික උසස් පාසලට භාරදීම සිදුකෙරුණා.

කුමරුගේ උසස් පාසලේ පළමු දිනය, වැසි සහිත උදෑසනක් වූ අතර විද්යාලයේ ප්රධාන ආචාර්ය සයිමන් හෙන්ඩර්සන් (Simon Henderson) විසින් දෙමාපියන් සමඟ පාසලට පැමිණි කුමරු උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.
මීට වසර කිහිපයකට පෙර මෙයාකාරයෙන් ම විලියම් කුමරු, කුඩා ජෝර්ජ් කුමරු කැටුව විත් ප්රාථමික පාසලට භාරදුන් අතර ඊයේ විලියම් කුමරු සහ කේට් කුමරිය යන දෙදෙනාම ජෝර්ජ් කුමරු උසස් පාසලට ඇතුළත් වන අවස්ථාවට එක්ව සිටීම විශේෂය.
ඊටන් උසස් පාසල, බ්රිතාන්යයේ ප්රභූන්ගේ දරුවන් අධ්යාපනය ලබන පෞද්ගලික පාසලක් වේ.
බර්ක්ෂයර් හි පිහිටි 'ලැම්බෲක්' (Lambrook) පෞද්ගලික ප්රාථමික පාසලෙන් පසු ජෝර්ජ් කුමරු ඇතුළත් වන්නේ කුමන උසස් පාසලට ද යන්න පිළිබඳව පෞද්ගලික පාසල් කිහිපයක ම නම් යෝජනා වෙමින් විවිධ මත පළවී තිබුණි.
නමුත් අවසානයේ සාම්ප්රදායික තේරීම සිදුකෙරුණු අතර, ජෝර්ජ් කුමරු සිය පියා වන විලියම් කුමරු, විලියම් කුමරුගේ සහෝදරයා වන හැරී කුමරු ඇතුළු රාජකීයන්ගේ තේරීම වුණු ඊටන් උසස් පාසලට ඇතුළත් විය.
1995 වසරේදී ඩයනා කුමරිය හා චාල්ස් කුමරු පැමිණ මේ ආකාරයට ම විලියම් කුමරු පාසලට ඇතුළත් කර තිබිණ. එමෙන්ම 1998 වසරේදී හැරී කුමරු පාසලට ඇතුළත් වන අවස්ථාව වන විට ඩයානා කුමරිය ජීවත්ව නොසිටි හෙයින් චාල්ස් කුමරු පමණක් හැරී කුමරු කැටිව පැමිණ තිබුණි.


ජෝර්ජ් කුමරු දැන් ඊටන් හි නේවාසික ශිෂ්යයෙකු බවට පත්වනු ඇත.

මෙම පාසලේ නේවාසික නිවාස 25 ක් ඇති අතර, වයස අවුරුදු 13 සිට සිසුන් ඇතුළත් කරගන්නා එක නිවාසයක සිසුන් 55 දෙනෙකු පමණ වාසය කරයි. නිවාස භාරකරුවෙකු (house master) ඇතුළු නේවාසික කාර්ය මණ්ඩලය විසින් ඔවුන්ගේ කටයුතු අධීක්ෂණය කරනු ලබයි.
ඊටන් හි ගත කරන කාලය තුළ ජෝර්ජ් කුමරු මාධ්ය සහ මහජන අවධානයෙන් ආරක්ෂා වීමට වැඩි ඉඩක් ඇති අතර, 18 හැවිරිදි වියේදී විලියම් කුමරු ද පවසා තිබුණේ පාසලේ සාමාන්ය ශිෂ්යයෙකු ලෙස සිටීමට ලැබීම පිළිබඳව තමා බෙහෙවින් සතුටු වන බවයි.
"තවත් එක් සාමාන්ය ශිෂ්යයෙකු ලෙස ඊටන් පුරා සැරිසැරීමට ලැබීම ගැන මම ඇත්තටම සතුටු වුණා" යනුවෙන් ඔහු මීට ඉහත පවසා තිබුණි.
ඊටන්, බ්රිතාන්යයේ වඩාත්ම ප්රකට ගාස්තු අයකරන පාසල්වලින් එකක් වන අතර, එහි ආදි ශිෂ්යයන් අතර ප්රසිද්ධ පුද්ගලයින් මෙන්ම රටේ අගමැතිවරුන් 59 දෙනාගෙන් 20 දෙනෙකුම වේ.
2019 සිට 2022 දක්වා එක්සත් රාජධානිය මෙහෙයවූ බොරිස් ජොන්සන් සහ 2010 සිට 2016 දක්වා ධූරය දැරූ ඩේවිඩ් කැමරන් යන හිටපු කොන්සර්වේටිව් අගමැතිවරුන් දෙදෙනාම එහි ආදි ශිෂ්යයින් වේ.
සටහන සහ ඡායාරූප : විදෙස් මාධ්ය වාර්තා ඇසුරෙනි