
ජපානය විසින් මෑතකදී නිකුත් කළ එරට නවතම ආරක්ෂක ධවල පත්‍රිකාවෙහි චීන හමුදා සම්බන්ධයෙන් සඳහන් කර ඇති කරුණු දැඩි අප්‍රසාදයකින් සහ විරෝධයකින් යුතුව ප්‍රතික්ෂේප කරන බව චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
එහි ප්‍රකාශක චෙන් ෂී (Chen Xi) මහතා ඊයේ (04) මාධ්‍ය හමුවේ අවධාරණය කර සිටියේ, චීනයට එරෙහිව ජපානය නගන මෙම අසත්‍ය චෝදනා පදනම් විරහිත බවයි.
එමෙන්ම මෙය, සිය හමුදා බලය වර්ධනය කිරීම සඳහා පවතින සීමාවන් ලිහිල් කර ගැනීම සඳහා ජපානය නිදහසට කරුණක් ලෙස භාවිත කරන ඊනියා "චීන තර්ජනයක්" පිළිබඳ මතය අතිශයෝක්තියකින් පෙන්වීමක් පමණක් බවත් ඔහු මෙහිදී පවසා ඇත.
ජපාන ආරක්ෂක අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කළ, “Defense of Japan 2026” නම් වාර්ෂික ආරක්ෂක වාර්තාවෙහි චීන හමුදා ක්‍රියාකාරකම් පිළිබඳ විග්රහ කර තිබුණේ, ජපානය මෙතෙක් මුහුණ දුන් විශාලතම උපායමාර්ගික අභියෝගය ලෙසිනි.
එමෙන්ම එම වාර්තාව මගින් චීනයේ තායිවාන කලාපය අවට ප්‍රදේශ ආශ්‍රිතව සිදුවන චීන හමුදා ක්‍රියාකාරකම් විවේචනයට ලක් කරමින්, කලාපීය ආරක්ෂාව වඩාත් බරපතල තත්ත්වයකට පත්වෙමින් තිබෙන බවට ද අර්ථ දක්වා ඇත.
මෙම සියලු කරුණු දැඩිව ප්‍රතික්ෂේප කරන චෙන් ෂී මහතා පවසන්නේ, අසත්‍ය චෝදනාවන්ගෙන් පිරී ඇති අදාළ ධවල පත්‍රිකාව හරහා ජපාන හමුදා මත පනවා ඇති දීර්ඝකාලීන සීමාවන් ඉවත් කර ගැනීමට අවශ්‍ය නිදහසට කරුණක් ලෙස මෙලෙස ආරක්ෂක ගැටලු යොදා ගන්නා බවයි.
ජපාන පාලකයින් එරට ප්‍රධාන ආරක්ෂක ලේඛන තුන සංශෝධනය කිරීම වේගවත් කරමින්, ආරක්ෂක වියදම් අඛණ්ඩව වැඩි කිරීමට සහ සිය ජාතික ආයතන, කර්මාන්ත හා මහජන මතය තුළට හමුදා ව්‍යාප්තිය කාවැද්දීමට උත්සාහ කරමින් සිටින බව ද හෙතෙම මෙහිදී පෙන්වා දී ඇත.
තවද, තායිවාන ප්රශ්නය චීනයේ ස්වෛරීත්වයට සහ භෞමික අඛණ්ඩතාවයට සම්බන්ධ වන්නක් බවත්, එය චීනයත් ජපානයත් අතර සබඳතාවන්හි දේශපාලන පදනම කෙරෙහි තීරණාත්මක බලපෑමක් කරන බවත් චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක චෙන් ෂී මහතා මාධ්‍ය හමුවේ නැවත වරක් අවධාරණය කර තිබේ.