
දෙහිවල ගල්කිස්සේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් තරුණයාගේ මව වන දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්රීනිය ඉවත් නොකරන්නේ ඇයිද යන්න, දෙහිවල ගල්කිස්ස විපක්ෂ කණ්ඩායම් නායක විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.
වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙන්නේ, මේ සම්බන්ධව පසුගියදා පාර්ලිමේන්තුවේදී චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයාද ප්‍රශ්න කළ බවත් ප්‍රධාන ධාරාවේ පුවත්පත්වලින් ද එය වාර්තා කරන ලද බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය චමල් සංජීව,
''ගල්කිස්ස දෙහිවල නගර සභාවේ මන්ත්‍රිනිගේ පුතා.... ඔහුව අත්අඩංගුවට ගන්නෙ ගිය මාසේ 25 වෙනිදා. ඒ හශීස් මත්ද්‍රව්‍යය මිලිග්‍රෑම් ප්‍රමාණයක් ළඟ තබාගත්තා කියලා. අත්අඩංගුවට ගැනීම සිද්ධ කරන්නෙ ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන 8ක්, ගුවන් සහ යුධ හමුදා නිලධාරීන් සමග 200ක විතර පිරිසක් එකතුවෙලා. හදිසි මෙහෙයුමකින් එකි තරුණයා ඇතුලු තවත් පුද්ගලයන් 29ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා.
මෙතන අනෙක් කාරණය තමයි මේ තරුණයා මේ මාලිමා මන්ත්රිනීගෙ පුතා පමණක් නෙමෙයි. ඔහුගේ පියා එහෙම නැතිනම් මේ මන්ත්රීනිගේ නීත්‍යානුකූල සැමියා බටහිර කවුඩාන මහජන ආරක්ෂක කමිටුවේ සභාපති. එහෙම පසුබිමක ඉද්දි තමයි මේ තරුණයා හශීස් මත්ද්‍රව්‍යය එක්ක අත්අඩංගුවට ගන්නේ.
ඇතැම් සැකකරුවන්ගේ දුරකථන තොරතුරු මාධ්‍ය ඔස්සේ අනාවරණය කරන ආණ්ඩුව, ආණ්ඩුවට සම්බන්ධ පාර්ශව මත් ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ විට ඔවුන්ගේ දුරකථන තොරතුරු සම්බන්ධයෙන් මුනිවත රැකීම විහිළුවට කරුණක්....''
විශේෂඥ වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් සඳහන් කරන්නේ දෙහිවල ගල්කිස්ස මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මුදා හැර ඇති බව වාර්තා වන අතර ආණ්ඩුව මෙලෙස ආණ්ඩුවට සම්බන්ධ පාර්ශව වෙනුවෙන් එක් ආකාරයකටත් අනික් පාර්ශව සම්බන්ධයෙන් තවත් ආකාරයකටත් කටයුතු කිරීම කණගාටුවට කරුණක් වන බවයි.
මේ සම්බන්ධව පසුගියදා ලංකාදීප පුවත්පත ද වාර්තා කළ අතර මෙම පුවත තහවුරු කර ගැනීමෙන් අනතුරුව මේ දක්වා අදාළ මන්ත්‍රීවරිය පක්ෂයෙන් ඉවත් කිරීමට ජාතික ජන බලවේගය කටයුතු කළ යුතු වූවත් එවැන්නක් මේ දක්වා සිදුවී නැති බවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කළ යුතු බවත් චමල් සංජීව මහතා අවධාරණය කරනවා.