
හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා අනාගත නාවික ගමනාගමනය සම්බන්ධයෙන් ඉරානය සහ ඔමානය අතර කිසියම් එකඟතාවක් ඇති වුවද, උපායමාර්ගික හෝර්මුස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත නොවන බව ඉරානයේ රාජ්‍ය මාධ්‍ය වන IRIB ආයතනය වාර්තා කර තිබෙනවා. ඉරාන බලධාරීන් උපුටා දක්වමින් IRIB ආයතනය සඳහන් කළේ අනාගත නාවික ගමනාගමන විධිවිධාන සම්බන්ධ සාකච්ඡා සිදුවන්නේ ටෙහෙරානය සහ මස්කට් අතර පමණක් වන අතර, ඒවාට එක්සත් ජනපදයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පවසනවා. “ඉරානය සහ ඔමානය අතර හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමන් කිරීම පිළිබඳ ඇතිවිය හැකි එකඟතාව, සමුද්‍ර සන්ධිය වහාම විවෘත කිරීමක් අදහස් නොකරයි,” යනුවෙන් IRIB ආයතනය සඳහන් කොට තිබෙනවා. තවද, ඉරානය සහ ඔමානය අතර එකඟතාවකට පැමිණියද, ටෙහෙරානය “එක්සත් ජනපදයේ උල්ලංඝන ක්‍රියාකාරකම්” ලෙස හඳුන්වන තත්ත්වය පවතින තාක් හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා තැබෙනු ඇති බවද එහි සඳහන්. “හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම රඳා පවතින්නේ එක්සත් ජනපදයේ හැසිරීමේ වෙනසක් සහ එය සිදුකර ඇතැයි ඉරානය පවසන උල්ලංඝන ක්‍රියාකාරකම් නිවැරදි කිරීම මතයි,” යනුවෙන්ද වැඩිදුරටත් දක්වා තිබෙනවා.