
ජර්මනියේ සැක්සනි (Saxony) ප්‍රාන්තයේ පිහිටි ලයිප්සිග්/හාලේ (Leipzig/Halle) ගුවන් තොටුපොළේ ආරක්ෂිත කලාපයක පිපිරුම් උපකරණයක් සවිකර තිබූ ඩ්‍රෝනයක් හමුවි තිබෙනවා. මෙම ඩ්‍රෝනය සොයා ගැනීමත් සමඟ බදාදා අලුයම ගුවන් ගමන් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගනු ලැබුවා. එම අතරතුර හඳුනා නොගත් තවත් පියාසර වස්තුවක් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක ගැටීමෙන් සුළු හානි සිදුවූ බව ද ජර්මනියේ පොලිසිය පවසනවා. සැක්සනි ප්‍රාන්ත පොලිසිය නිකුත් කළ නිවේදනයකට අනුව, ගුවන් තොටුපොළේ දකුණු ධාවන පථය ආසන්නයේ පිහිටි භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් සඳහා වෙන්කර ඇති ආරක්ෂිත ප්‍රදේශයේ මෙම ඩ්‍රෝනය ගුවන් තොටුපොළ සේවකයකු විසින් සොයාගෙන ඇත. ඒ අනුව බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ රොබෝ යන්ත්‍රයක් යොදා ගනිමින් මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර, ඩ්‍රෝනයට සවි කර තිබූ පුපුරණ උපකරණයේ ඩෙටර්නේටරය (detonator) ආරක්ෂිතව ඉවත් කිරීමට නිලධාරීන් සමත් වී තිබෙනවා. මේ අතර, දකුණු ධාවන පථය වසා දැමීම හේතුවෙන් ගොඩබෑම අත්හැර වෙනත් ගුවන් තොටුපොළක් වෙත පියසර කළ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්, ගමන් මාර්ගයේදී හඳුනා නොගත් පියාසර වස්තුවක ගැටී ඇතැයි සඳහන්. එම ගැටීමෙන් යානයට සුළු හානි සිදුවුවද, එය ආරක්ෂිතව හැනෝවර් (Hannover) ගුවන් තොටුපොළට ගොඩබැස්සවීමට හැකි වී තිබෙනවා. මෙම සිද්ධිය හේතුවෙන් මධ්‍යම රාත්‍රියට පෙර සිට ගුවන් ගමන් කටයුතු තාවකාලිකව නතර කෙරුණු අතර, පසුව සිදු කළ ආරක්ෂක පරීක්ෂණයකින් අනතුරුව උතුරු ධාවන පථය නැවත විවෘත කර ඇත. කෙසේ වෙතත්, දකුණු ධාවන පථය අද (05) දිනයේද වසා තැබුණු බව වාර්තා වේ.