
ඉන්දියාවේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක සහීර් ඛාන් (Zaheer Khan) විසින් සම-හිමිකාරීත්වය දරන ස්ටොක්හෝම් (Stockholm) කේන්ද්‍ර කරගත් ක්‍රීඩා හිමිකාරීත්ව කණ්ඩායමක් විසින් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ 'ජැෆ්නා කිංග්ස්' (Jaffna Kings) ෆ්‍රැන්චයිස් කණ්ඩායම මිලදී ගෙන තිබෙනවා.
'Anchor Sports AB' ආයතනය විසින් මෙම මිලදී ගැනීම සිදු කර ඇති අතර, ඒ අනුව කණ්ඩායම ඉදිරියේදී 'Anchor Jaffna Kings' ලෙස නම් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
මෙයට පෙර හිටපු සම-හිමිකරුවන් සම්බන්ධයෙන් මතුවූ ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) සහ LPL හි හිමිකාරීත්ව දරන IPG ආයතනයේ හදිසි මෙහෙයුම් පාලනය යටතේ පැවති 'ජැෆ්නා කිංග්ස්' කණ්ඩායමට මෙම නව හිමිකාරීත්වය හරහා ස්ථාවරත්වයක් හිමිවී තිබෙනවා.
'Anchor Sports AB' ආයතනය සහීර් ඛාන් සහ ව්‍යාපාරික නේග්රඩ්රා සිද්දුටම් (Nagendra Siddoutam) යන අයගේ සම-හිමිකාරීත්වයෙන් යුත්තක් වන අතර, ඔවුන් දැනටමත් බෙල්ජියමේ යුරෝපීය T20 ප්‍රිමියර් ලීගයේ සහ කැනඩාවේ Super60 ලීගයේ කණ්ඩායම්වල හිමිකාරීත්වය දරනවා.
මීට පෙර ජැෆ්නා කණ්ඩායමේ සම-හිමිකරුවෙකු වූ මන්ජෝත් කල්රා (Manjot Kalra) තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට පත්වීම සහ තවත් හිමිකරුවෙකු වන මයාන්ක් ගෝයල් අතුරුදන් වීම හේතුවෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පෙර හිමිකාරීත්වය (Sports Commune) ඉවත් කිරීමට කටයුතු කර තිබිණි. පිටියෙන් පිටත ගැටලු මධ්‍යයේ වුවද, LPL ඉතිහාසය තුළ පැවති සම්පූර්ණ තරගාවලි 5න් 4ක්ම ජයග්‍රහණය කරමින් තරඟවලි ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම ලෙස ජැෆ්නා කිංග්ස් පෙරමුණ ගෙන සිටිනවා.