
යුද්ධය හේතුවෙන් අවතැන් වූ ලෙබනන් වැසියන් 821,000 කට අධික පිරිසක් සටන් තාවකාලිකව අඩුවීමත් සමඟ තම උපන් ගම් සහ නිවාස වෙත ආපසු යාම ආරම්භ කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) නිකුත් කළ වාර්තාවකට අනුව, ජූලි 30 දා වන විට පුද්ගලයන් 821,077 දෙනකු තම ප්‍රදේශ වෙත නැවත පැමිණීමට පටන්ගෙන තිබේ. එහෙත් තවදුරටත් 360,000 කට වැඩි පිරිසක් අවතැන්ව සිටින අතර, ඔවුන්ගෙන් 26,000 කට ආසන්න පිරිසක් රජයේ තාවකාලික නවාතැන් මධ්‍යස්ථානවල රැඳී සිටින බව ද එම වාර්තාව සඳහන් කරයි. මේ අතර, ලෙබනනය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම අවසන් කිරීමේ අරමුණින් එක්සත් ජනපදයේ මැදිහත්වීම යටතේ පැවැත්වෙන නව සාකච්ඡා වටයක් ඉතාලියේ රෝම නගරයේදී ආරම්භ වී ඇති අතර, එය බ්‍රහස්පතින්දා දක්වා පැවැත්වීමට නියමිතය. ඉරානයට සහාය පළ කරමින් හෙස්බොල්ලා සංවිධානය මාර්තු මාසයේදී ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෙබනනය මෙම ගැටුමට සෘජුවම සම්බන්ධ වුණා. ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය දැඩි ගුවන් ප්‍රහාර සහ ගොඩබිම් මෙහෙයුම් දියත් කළ අතර, ලෙබනන බලධාරීන් පවසන්නේ එම ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 4,300 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවතැන් වී ඇති බවයි.