විධිමත් වැඩ පිළිවෙළකින් තොරව වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ සමඟ හෝ රජය සමග එක්වීමේ කිසිදු තේරුමක් නොමැති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.
මහනුවරදී 20 දා මාධ්‍ය හමුවේ අදහස් පල කළ ඒ මහතා කියා සිටියේ වත්මන් ජනපතිගේ මෙන්ම රජයේද රට ගොඩ ගැනීමේ පැහැදිලි වැඩ පිළිවෙලක් දක්නට නොලැබෙන බවය.
මෙහිදී තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද කීය. මේ රට ගොඩ ගන්න නම් සියලුම දෙනා දේශපාලන මතිමතාන්තර ඉවතලා කෙටි කාලෙකට හෝ එක්ව කටයුතු කළ යුතුයි. මේ රට ගොඩ ගත්තට පස්සේ තම තමන්ගේ දේශපාලන ගමන යන්න පුළුවන්. අද මේ රටේ ආර්ථිකය අන්තයටම කඩා වැටිලා. ජනතාව ජීවත් වෙන්න දහ දුක් විඳිනවා. අපි අපේ පුද්ගලික දේශපාලනයට කලින් රටේ ජනතාව ගැන හිතන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා මේ රට යම් ස්ථාවරයකට ගෙනාවා කියන එක අපි පිළිගන්න ඕන. නමුත් මේ රට ගොඩ ගැනීමේ තිරසාර වැඩපිළිවෙලක් කාටවත් නෑ. සියලු දෙනා එක ප්රතිපත්තියකට ඇවිත් දේශපාලන කෝණවලින් නොබලා මේ රට ගැන හිතා කටයුතු කළ යුතුයි. හොඳ දෙයක් කරනකොට විරුද්ධ වී කකුලෙන් ඇදලා රට ගොඩ ගන්න බෑ. පක්ෂ නායකයෝ සියලු දෙනා සාකච්ඡා කරලා ඒකාබද්ධ වැඩපිළිවෙළකට යා යුතුයි.
මම එහෙම වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. රට ගොඩ ගැනීමේ ඒ වැඩපිළිවෙල සමගි ජන බලවේගයේ බොහෝ මන්ත්‍රීවරු පිළිගෙන තිබෙනවා. නමුත් විධිමත් සංවාදයකින් තොරව කිසිවක් කරන්න බෑ. අද මේ රටේ ජනතාව සියයට 55 ක් ඉන්නේ කිසිම දේශපාලන මතයක නෙවෙයි. ඒ අයගේ එකම උවමනාව එදා වේල සරිකර ගැනීම පමණයි.
ඔය සමහරු කියනවා වගේ අපිට රෑට රෑට ගිහිල්ල රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරන්න අවශ්‍ය නෑ. කියන්න තියෙන දෙයක් විවෘතව කතා කරනවා. මම එදා මහින්ද රාජපක්ෂට පවා විවෘතව කතා කරපු මිනිහෙක්.
ජන මතයක් තියෙනවා කියලා ජනතා විමුක්ති පෙරමුණ කිව්වට ඉදිරි මැතිවරණයකින් එයාලගේ සියයට තුන සියයට දහයක් හෝ පහලොවක් කරගන්නවා විනා බලය ලබා ගන්න නම් කවදාවත් බෑ. ජනාධිපතිවරණයකින් මිනිස්සු වෙනස් කරලා වැඩක් නෑ. මේ රට ගොඩ ගන්න නම් පවතින ක්‍රමය වෙනස් කිරීමයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව මේ රට කවදාවත් ගොඩ ගන්න බෑ.
(කමල් සුරවීර – මහනුවර)