හොරණ දොඹගොඩ යුද හමුදා යුධ උපකරණ කඳවුරේ පොකුණේ තිබී අභිරහස් ලෙස මියගිය සෙබළෙකුගේ මළ සිරුරක් හමුවී ඇතැයි අඟුරුවාතොට පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ තෙලුල්ල ජනපදය, ඇතිලිවැව ලිපිනයේ පදිංච සිටි තරිඳු ලක්ෂාන් නමැති සෙබලලෙකි.

අඟුරුවාතොට පොලිසියට ලැබුණු තොරතුරු මත යුද හමුදා කඳවුරට ඇතුල්වී පරීක්ෂණ ආරම්භ කර ඇත.

පානදුර අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් ද පැමිණ යුද හමුදා කඳවුරට ඇතුල් වී පරීක්ෂණය පැවැත්වීය.

සිරුර පිළිබද මහේස්ත්‍රාත් පරීක්ෂණය හොරණ අධිකරණ මහේස්ත්‍රත්තුමා විසින් සිදු කළ අතර වැඩිදුර පරීක්ෂණ අඟුරුවාතොට පොලිසිය විසින් සිදුකරයි.

මියගිය සෙබලාගේ සීයා ප්‍රේමරත්න වර්ණසිංහ ආරච්චි මහතා( 62) මෙසේ මාධ්‍යයට අදහස් දැක්වීය.

“මුණුපුරා 27 වන දින රාත්‍රී දහයට පමණ පුතා දුරකථනයෙන් තාත්තට කතා කරලා කෙඳිරිගාමින් තාත්තේ කියලා කියලා තියෙනවා. පුතාට ලොකු කරදරයක් බව කතා කරපු විලාසය අනුව වැටහිලා තියෙනවා . ඒ මොහොතේම නැවත පුතාට කෝල් එකක් අරගත්තත් ෆෝන් එක වැඩ කළේ නෑ. ඊට පස්සේ පුතාගේ යාළුවෙක්ගේ පෝන් එකකට කෝල් එකක් අරගෙන පුතා කොහෙද කියල විස්තර අහල තියෙනවා. එතකොට කිව්වලු විසි හත රෑ ඉඳලා අතුරුදන් වෙලා අපි මේ තාම හොයනවා කියලා පුතාගේ යාළුවා කිව්වා. ඊට පස්සේ ඉඳලා මේ වෙනකන් හොයල තියෙනවා.අපි දෙතුන් පාරක් පුතාගේ යාළුවට කතා කළා.තාම හොයනවා කියලා පුතාගේ යාළුවෙක් කිව්වා. අද 29 උදේ 5.30 විතර කෑම්ප් එකෙන් කෝල් කරලා කියලා තියෙනවා වැවේ මළ සිරුරක් තියෙනවා තාම අඳුරගත්තේ නෑ කියලා. ඊට පස්සේ ඉක්මනට ලෑස්ති වෙලා අපි කට්ටිය කෑම්ප් එකට ආවා. මේ පුතා පවුලේ දෙවැනියා එයාට කිසිම ප්‍රශ්නයක් තිබුණු දරුවෙක් නෙමෙයි. ගෙදරත් හොඳට හිටියා. කෑම්ප් එක ඇතුලෙත් යාලුවෝ කිවුවා හොඳින් වැඩ කරගෙන හිටියා කියලා. අපිට මේ මරණය අභිරහසක්. මේ තරම් ආරක්ෂාව තියෙන කෑම්ප් එකක් ඇතුලේ මෙහෙම මරණයක් සිදුවුණා කිව්වම අපිටත් පුදුමයි. 27 වෙනිදා මේ වෙනකන්ම පුතාව කෑම්ප් එක ඇතුලේ හොයාගන්න බැරි වෙච්ච එක ගැන අපිට සැකයක් තියෙනවා යැයි සීයා විසින් පැවසීය.”

මියගිය සෙබලා පුහුණු ශාරීරික උපදේශකවරයෙකු වශයෙන් ම යුද හමුදා කඳවුරේ සේවය කර ඇත.

(ගල්පාත චන්දන පෙරේරා)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here