
රුසියා - යුක්රේන යුද්ධයේදී මොස්කව් පාලනයට සහාය දක්වන ප්‍රධාන රටවල් දෙකක් වන බෙලරුසය සහ උතුරු කොරියාව, බටහිර බලපෑම් හමුවේ වඩාත් සමීපව කටයුතු කිරීමට නව මිත්‍රත්ව ගිවිසුමකට අත්සන් තබා තිබේ.
එහිදී "සතුරන් මතු වුවහොත් පාවිච්චි කිරීමට" යැයි පවසමින් ලුකෂෙන්කෝ විසින් කිම් ජොන් උන් වෙත ස්වයංක්‍රීය රයිෆලයක් ද තෑගි කිරීම විශේෂය.
කිම් ජොන් උන් විසින් ලුකෂෙන්කෝ වෙත කඩුවක් සහ ඔහුගේ රුව සහිත බඳුනක් තෑගි කර තිබේ.
උතුරු කොරියාවේ විනයගරුක ජනතාව නිසා එම රටට දීප්තිමත් අනාගතයක් ඇති බව ලුකෂෙන්කෝ මෙහිදී ප්‍රකාශ කර තිබේ.
ජාත්‍යන්තර නීති උල්ලංඝනය වන කාලවකවානුවක රටවල් අතර සහයෝගීතාවය අත්‍යවශ්‍ය බව ලුකෂෙන්කෝ පෙන්වා දී ඇත.
මෙහිදී කෘෂිකර්මය, තොරතුරු තාක්ෂණය සහ මහජන සෞඛ්‍ය යන ක්ෂේත්රවල සහයෝගයෙන් කටයුතු කිරීමට නායකයන් දෙදෙනා එකඟව තිබේ.
උතුරු කොරියාව රුසියාව වෙනුවෙන් සොල්දාදුවන් ලබා දෙන අතර, යුක්රේන යුද්ධයේ මුල් මාස කිහිපය තුළ උතුරු කොරියානු සෙබළුන් 1,000ක් පමණ මිය ගොස් ඇති බව වාර්තා වේ.
රුසියාව යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම සඳහා බෙලරුස් දේශසීමා භාවිතා කරන බවට යුක්රේනය චෝදනා කරයි.
මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද්ධයට සහාය දීම හේතුවෙන් මෙම රටවල් දෙකටම බටහිර රටවල් දැඩි සම්බාධක පනවා ඇත.