
මැදපෙරදිග ගැටුම් හමුවේ, ලෝකය මුහුණදෙන අර්බුදකාරී තත්ත්වය තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන හා රට තුළ රැඳී සිටින සංචාරකයින් දිරිගැන්වීම අරමුණු කරගනිමින් 'ඉයුෆෝරියා සිලෝන්' (Euphoria Ceylon) නම් නව සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් පසුගියදා ආරම්භ කෙරුණා.
ඒ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, මහවැලි කේන්ද්‍රය, මහවැලි උපදේශක කාර්යාලය සහ ජාතික තරුණ සේවා සභාව එක්වයි.
මෙම වැඩසටහන කොළඹ (07) හි පිහිටි මහවැලි කේන්ද්‍ර පරිශ්‍රයේදී ආරම්භ කෙරුණු අතර, සංචාරකයින්ට විශේෂ සංස්කෘතික අත්දැකීමක් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
ඒ අනුව, 'ඉයුෆෝරියා සිලෝන්' හරහා මෙම පරිශ්‍රයට පැමිණෙන සංචාරකයින් හට හෙළ සංස්කෘතිය, සංගීතය සහ නර්තන අත්දැකීම් සමීපව අත්විඳීමට අවස්ථාව සලසා දීම විශේෂය.
එමෙන්ම මෙරට පුරාණ කර්මාන්ත පිළිබඳව දැනුවත් වීමටත්, ඒවායේ නිෂ්පාදන ක්‍රියාවලිය සජීවීව නිරීක්ෂණය කිරීමටත්, තමා විසින්ම එම නිෂ්පාදන සකස් කර බැලීමටත් හැකි වන පරිදි වැඩසටහන සැලසුම් කර තිබේ.
මෙම වැඩසටහන එළඹෙන අප්‍රේල් මාසයේ සිට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.