
මෙරටට අවශ්‍ය ඕනෑම මොහොතක තෙල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට ඉරානය සූදානම් බව ඉරාන තානාපති අලිරේසා දෙල්කොෂ් (Alireza Delkhosh) පවසනවා.
තානාපතිවරයා මේ බව සඳහන් කර සිටියේ, කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ අද (23) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
ශ්‍රී ලංකාව සිය මිතුරෙකු බවත් ඕනෑම අවස්ථාවක මෙරටට උදව් කිරීමට ඉරානය සුදානම් බවත් තානාපතිවරයා එහිදී අවධාරණය කර සිටියා.
ඒ අනුව, ශ්‍රී ලංකාව තෙල් හෝ වෙනත් ඕනෑම අත්‍යවශ්‍ය භාණ්ඩ ඉල්ලා සිටියහොත්, ඉරානය එම භාණ්ඩ ශ්‍රී ලංකාවට ලබාදීමට සුදානම් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම, ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය සිය මිත්‍ර රටවලට වසා දමා නොමැති බවද අලිරේසා ඩෙල්කෝෂ් මහතා මෙහිදී අවධාරණය කර සිටියා.
පසුගිය දා අමෙරිකානු සම්මැරීනයක් මඟින් එල්ලකළ ටෝපිඩෝ ප්‍රහාරයකින් මුහුදුබත් වූ ඉරානයේ 'IRIS Dena' යුද නෞකාවේ සිටි පිරිස මුදාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළේ ඉරාන ඉල්ලීමක් කිරීමට පළමුව බව සඳහන් කරමින්, ශ්‍රී ලංකාව විසින් සිදුකළ එම උපකාරය ද තානාපතිවරයා මෙහිදී සිහිපත් කරනු ලැබුවා.