
දමිළ සිනමාවේ සුපිරි තරුවක් සහ දේශපාලනඥයෙකු වන ජෝසප් විජේ චන්ද්‍රසේකර් හෙවත් තලපති විජේට එරෙහිව ඔහුගේ බිරිඳ සංගීතා චෙංගල්පට්ටු අධිකරණයේ දික්කසාද නඩුවක් ගොනුකර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ANI පුවත් සේවයට අනුව, ඇය මෙලෙස නඩුවක් ගොනුකර ඇත්තේ, සිය සැමියාට වෙනත් සම්බන්ධයක් ඇති බව උපුටා දක්වමිනි.
එහිදී ඇය, විජේ විසින් වෙනත් නිළියක සමඟ (නම හෙළිකර නොමැත) පවත්වන මෙම අනියම් සබඳතාව නිසාවෙන් තමන් දැඩි මානසික පීඩාවකට සහ නොසලකා හැරීමකට ලක්ව ඇති බව අවධාරණය කර තිබේ.
ඒ අනුව මෙම විවාහය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි මට්ටමට බිඳ වැටී ඇති හෙයින්, 1954 විශේෂ විවාහ පනත යටතේ ඇය මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.
තම පවුලේ පෞද්ගලිකත්වය සහ දරුවන්ගේ මානසික සුවය ආරක්ෂා කර ගැනීම සඳහා නඩු විභාගය අප්රසිද්ධියේ පවත්වන ලෙසත්, මේ පිළිබඳව මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා ඇති බවත් සඳහන්.
ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධ පළමු විභාගය ලබන අප්‍රේල් 20වනදා පැවැත්වීමට නියමිතය.
දශක තුනක සිනමා ජීවිතය, බොක්ස් ඔෆිස් ජයග්‍රහණ සහ 'තලපති' ලෙස දැවැන්ත රසික ප්‍රසාදයක් දිනා ඇති විජේ, සිය පෞද්ගලික ජීවිතය බොහෝ සෙයින් අප්රසිද්ධියේ තබාගත් අයෙකි.
කෙසේ නමුත් මෙලෙස විවාහ ජීවිතය තුළ ඇති අසමගිය පිළිබඳ හදිසි ප්‍රසිද්ධ හෙළිදරව්ව ඔහුගේ සිනමා සහ දේශපාලන කවයන් දෙකෙහිම දැඩි කම්පනයක් ඇතිකර තිබේ.
තලපති විජේ 1999 වසරේදී විවාහ වූයේ, ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සංගීතා සෝර්ණලින්ගම් සමඟයි.
ඔවුනට ජේසන් සංජේ සහ දිව්‍යා මැයෙන් දරුවන් දෙදෙනෙකි.
ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව, විජේ 2021 වසරේ සිට වෙනත් නිළියක සමඟ අනියම් ප්‍රේම සබඳතාවක් පවත්වා ඇත.
විජේ නළුවෙකු සිට දේශපාලනඥයෙකු දක්වා පැමිණි අයෙකි.
වසර 30 කට වැඩි කාලයක් පුරා ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ, ඔහු චිත්‍රපට 69 කට පෙනී සිට ඇති අතර ඉන්දියාවේ ඉහළම වැටුප් ලබන නළුවන් අතර ද වෙයි.
ඔහු සිනමාවෙන් ඉවත් වී 'තමිළග වෙට්ට්‍රි කසාගම්' (Tamilaga Vettri Kazhagam) නමින් සිය දේශපාලන පක්ෂය ආරම්භ කළේ මෑතකදීයි.