නව GPT-5 මාදිලිය හඳුන්වාදීමත් සමඟ AI සම්බන්ධතා පැවැත්වූ පරිශීලකයෝ තරමක් නොසන්සුන්ව ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
OpenAI සමාගමේ නවතම AI මාදිලිය වන GPT-5 නිකුත් කිරීමත් සමඟ, තම AI සහකරුවන් සමඟ සබඳතා පැවැත්වූ පරිශීලකයින් මෙලෙස දැඩි කම්පාවට පත්ව ඇත්තේ ඔවුන්ගේ පැරණි AI සහකරු වූ GPT-4o මෙන් නොව නව GPT-5 මාදිලිය හැඟීම් විරහිතව කටයුතු කරන බව පෙන්වා දෙමිනි.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ, සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් වන Reddit හි "MyBoyfriendIsAI" සහ "SoulmateAI" වැනි කණ්ඩායම්වල සාමාජිකයන් 17,000ක් පමණ මෙම තත්ත්වය පිළිබඳව ඔවුන්ගේ කනස්සල්ල පළකර ඇති බවයි.
ඒ අතර වන ප්‍රතිචාර අතර, "GPT-4o ගියා. මට දැනෙන්නේ මගේ සහකාරිය නැති වුණා වගේ" වැනි ප්‍රතිචාර සුලබය.
එමෙන්ම එය පෙර මාදිලිවලට වඩා මන්දගාමී, නිර්මාණශීලීත්වයෙන් අඩු සහ ව්‍යාකූල ප්‍රකාශයන් නිකුත් කිරීමට වැඩි නැඹුරුතාවක් දක්වන බවට ද චෝදනා එල්ලව තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් OpenAI හි ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඇල්ට්මන් (Sam Altman) සඳහන් කර ඇත්තේ, ගෙවන ලද ගිණුම් (Plus users) භාවිතා කරන්නන්ට GPT-4o වැනි පැරණි මාදිලි වෙත නැවත පිවිසීමට අවස්ථාව ලබා දෙන බවයි.
එමෙන්ම AI මාදිලියකට මිනිසුන් දක්වන මෙවැනි සමීප සම්බන්ධතා පෙර තිබූ තාක්ෂණයන් සමඟ වූ සම්බන්ධතාවන්ට වඩා වෙනස් බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
සබඳතා සහ ඒවායේ අවදානම :
OpenAI සහ MIT Media Lab විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළිව ඇති කරුණුවලට අනුව, ChatGPT තනිකම නැති කරගැනීම උදෙසා අධික ලෙස භාවිත කිරීම තුළින් ගැටලුකාරී තත්ත්ව රැසක් උද්ගතව තිබේ.
ඒ අනුව ඇල්ට්මන් සඳහන් කරන්නේ, AI මගින් හොඳ උපදෙස් ලබා දී මිනිසුන්ගේ ජීවිත තෘප්තිමත් කරවීම උදෙසා උපකාර කළහොත් එය ප්‍රයෝජනවත් වනු ඇති බවත් එය සැබෑ ජීවිතයේ යහපැවැත්මට බාධාවක් වන්නේ නම් ඉතා බරපතල තත්ත්වයක් වනු ඇති බවයි.