
දමිළ සිනමාවට, විශේෂයෙන්ම සුපිරි නළු තලපති විජේට ආදරය කරන කවුරුත් හෙට (ජනවාරි 09) දවස එනකල් මඟබලාගෙන උන්නෙ.
ඒ, පූර්ණ වශයෙන් දේශපාලනයට පිවිසීමට පෙරාතුව තලපති විජේ රඟන අවසාන සිනමාපටය යැයි ඉමහත් කතාබහට ලක්වූ ''ජන නායගන්'' ලොව පුරා තිරගත වීමට නියමිතව තිබුණු නිසාවෙන්.
කොහොම නමුත් චිත්‍රපටය නිකුත් කිරීම හෙට දිනයේදී සිදුනොවන බවත්, එය තවදුරටත් කල් යනු ඇති බවයි වාර්තා වන්නේ.
නිෂ්පාදන කණ්ඩායම සඳහන් කරන ආකාරයට, අනපේක්ෂිත තත්වයන් හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුව ඇති අතර චිත්‍රපටය නිකුත් කෙරෙන දිනය පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙනු ඇති.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මේ පිළිබඳව තොරතුරු යාවත්කාලීන කිරීම් නිල සමාජ මාධ්‍ය වේදිකාවන් හරහා පමණක් සිදු කෙරෙන බැවින් සාවද්‍ය තොරතුරු පිළිබඳව අවධානය යොමු නොකර සිටින ලෙස.
කොහොම නමුත් චිත්‍රපටයේ සමහර දෙබස් සහ රූපරාමු නිසා චිත්‍රපටය තිරගත කිරීමට අවශ්‍ය කෙරෙන සහතික තවමත් නොලැබී ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.
ඒ අනුව ටිකට් ගෙන ඇති ප්‍රේක්ෂකයින්ගේ මුදල් ආපසු ලබා දෙන්නත් සිනමා ශාලා තීරණය කර ඇති බවත් සඳහන්.
'ජන නායගන්' එච්. විනෝත්ගේ අධ්‍යක්ෂණයක්. KVN Productions නිෂ්පාදනයක්. සංගීත අධ්‍යක්ෂණය අනිරුද් රවිචන්දර් විසින්. කැමරාකරණය සත්‍යන් සූර්යන් විසින් වන අතර සංස්කරණය ප්‍රදීප් ඊ. රාගව්...
තලපති විජේට අමතරව පූජා හෙග්ඩේ, බොබී ඩියොල්, ගෞතම් වාසුදේව් මෙනන්, ප්‍රකාශ් රාජ්, නාරේන්, ප්‍රියමනි, ශෘති හසන්, මමිතා බයිජු, මොනිෂා බ්ලෙසි සහ වරලක්ෂ්මි සරත්කුමාර් මෙහි තිරය හැඩකරන පිරිස අතර වනවා.
ජන නායගන් ; දේශපාලන - ක්‍රියාදාම සහිත චිත්‍රපටයක්.