
ප්‍රවීණ ඉන්දීය නළු ධර්මේන්ද්‍ර (Dharmendra) අභාවප්‍රාප්ත වූ බවට, ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මිය යන විට ඔහු 89 වන වියේ පසුවූවා.
අද (නොවැම්බර් 24) පෙරවරුවේ ඔහුගේ මුම්බායි නිවසට ගිලන් රථයක් පැමිණ තිබීම හේතුවෙන්, යම් කටකතාවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වූ අතර පසුව ඔහු මියගොස් ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ලදී.
ධර්මේන්ද්රගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බවට මීට ඉහත ද මාධ්‍ය වාර්තා පළවිය.
ඒ අනුව ඔහුව පසුගිය සතියේ මුම්බායි හි බ්රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කර තිබිණ.
පසුව බොබී ඩියෝල්, සනී ඩියෝල් ,ඊෂා ඩියෝල් සහ හේමා මාලිනී නිතර රෝහල වෙත යන අන්දම ද බොලිවුඩ් ආරංචි මාර්ග වාර්තා කරන ලදී.
ෂාරුක් ඛාන්, ආර්යන් සහ සල්මන් ඛාන් ඇතුළු බොලිවුඩයේ ජනප්‍රිය පුද්ගලයින් කිහිප දෙනෙකු ද ධර්මේන්ද්රගේ සුවදුක් විමසීම සඳහා රෝහල වෙත පැමිණ තිබිණ.
ඔහු රෝහල්ගතව සිටියදී, ජීවිතක්ෂයට පත්ව ඇති බවට අසත්‍ය පුවතක් පැතිර ගිය නමුත් ඔහුගේ පවුලේ පිරිස් විසින් එය සත්‍ය නොවන බව තහවුරු කරන ලදී.
අනතුරුව ඔහු නිවසට පැමිණීමෙන් පසු, ඩියෝල් පවුල ප්‍රසිද්ධ නිවේදනයකින් ඉල්ලා සිටියේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙසයි.
“ධර්මේන්ද්‍ර මහතා රෝහලෙන් පිටව ගොස් ඇති අතර ඔහු නිවසේ සුවය ලබමින් සිටියි. මෙම කාලය තුළ තවදුරටත් සමපේක්ෂනවලින් වැළකී සිටින ලෙසත් ඔහුගේ සහ පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙසත් අපි මාධ්‍යයෙන් සහ මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඔහුගේ අඛණ්ඩ සුවය, යහපත් සෞඛ්‍යය සහ දීර්ඝායුෂ සඳහා වන ප්‍රාර්ථනා අපි අගය කරමු....''
ඉන්දීය සිනමාවේ සුවිශේෂී සලකුණක් වන ධර්මේන්ද්‍ර කෙවාල් ක්‍රිෂාන් ඩියොල්ගේ වෘත්තිය ජීවිතය දශක හයකට එහා ගිය එකකි.
නළුවෙක් පමණක් ම නොව ඔහු නිෂ්පාදකවරයෙක් ද වේ.
ධර්මේන්ද්‍ර, ඉන්දියානු සිනමා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම, කඩවසම් සහ වාණිජමය වශයෙන් සාර්ථක චිත්‍රපට තරුවක් ලෙස සැලකේ.
වසර 65ක සිය වෘත්තීය ජීවිතය තුළ, ඔහු චිත්‍රපට 300කට අධික සංඛ්‍යාවක පෙනී සිටි අතර, හින්දි සිනමාවේ වැඩිම ජනප්‍රිය චිත්‍රපට සංඛ්‍යාවක රඟපෑමේ වාර්තාව ද තබා ඇත.
ධර්මේන්ද්‍ර 1960 දී 'Dil Bhi Tera Hum Bhi Tere' සමඟ සිය ගමන අරඹන ලදී.
පසුව ඔහු Ayee Milan Ki Bela, Phool Aur Patthar, Aaye Din Bahar Ke වැනි චිත්‍රපටවලින් ජනප්‍රියත්වයට පත් වූ අතර, පසුකාලීනව ඔහු ඉන්දියාවේ "He-Man" ලෙස ප්‍රකට විය.
ඒ, 1980 දශකයේදී ඔහු ක්‍රියාදාම (Action) චිත්‍රපට වෙත යොමුවෙමින්, එතුළින් විශාල සාර්ථකත්වයක් අත්කර ගැනීමත් සමඟයි.
ඔහු අවසන් වරට Pyaar Kiya To Darna Kya, Johnny Gaddaar, සහ මෑතකදී තිරගත වූ Rocky Aur Rani Kii Prem Kahaani වැනි චිත්‍රපටවල සහාය භූමිකාවන්හි රඟපාමින් චරිතාංග ශිල්පියෙකු ලෙස රසිකයින් අතරට පැමිණෙන ලදී.
ඔහුගේ අවසාන චිත්‍රපටය වන 'Ikkis' ලබන මාසයේදී තිරගත වීමට නියමිතය.
ධර්මේන්ද්‍ර, පළමුව වයස අවුරුදු 19 දී ප්‍රකාශ් කෞර් සමඟ විවාහ වූ අතර, ඔවුන්ට සනී සහ බොබී ඇතුළුව දරුවන් හතර දෙනෙකි.
1980 දී ඔහු නිළි හේමා මාලිනී සමඟ විවාහ වූ අතර, ඔවුන්ට ඊෂා (Esha) සහ අහානා ඩියෝල් (Ahana Deol) යන දියණියන් දෙදෙනා සිටියි.
පද්ම භූෂණ (Padma Bhushan) සම්මානයෙන් ද පිදුම් ලද ධර්මේන්ද්‍ර ඩියොල්, 2004 දී භාරතීය ජනතා පක්ෂය (BJP) යටතේ ලෝක් සභාවට තේරී පත්වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කරන ලදී.