
නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී (NDB) හි සිදු වූ අභ්‍යන්තර වංචාව සම්බන්ධයෙන් පුළුල් වෝහාරික විගණනයක් පැවැත්වීම සඳහා, නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් පරිදි, විදේශ විශේෂඥයින්ගෙන් සමන්විත ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර ආයතනයක් සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය කටයුතු අවසන් කරමින් සිටින බව, ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මෙම වංචාව සිදු කිරීමට සෘජුවම සම්බන්ධ කරුණුවලට අමතරව, වංචනික ගනුදෙනු සිදු වූ කාල සීමාව තුළ අභ්‍යන්තර පාලනය, අධීක්ෂණය සහ යහපාලනය පිළිබඳ නියාමන අවශ්‍යතාවලින් බැහැර වීමක් සිදුවී ඇත්දැයි යන්න පිළිබඳව ද මෙම විගණනයේ දී සම්පුර්ණයෙන්ම සොයා බලා ඇගයීමක් සිදු කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා. කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන මෙම වෝහාරික විගණනය අතරතුර, එහි ප්‍රගතිය, අන්තර්කාලීන සොයා ගැනීම් මෙන්ම අවසාන විගණන වාර්තාව ද ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සෘජුවම ඉදිරිපත් කරනු ඇත. විගණනය අතරතුර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවශ්‍ය පරිදි විගණකවරුන් සමඟ සෘජුවම සම්බන්ධ වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඊට සමගාමීව, නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී හි අභ්‍යන්තර පාලන සහ යහපාලන ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම සඳහා, හඳුනාගත් අඩුපාඩු නිවැරදි කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, කඩිනම් පියවර ගන්නා ලෙස නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී වෙත උපදෙස් ලබා දී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා. තවද, නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී හි ප්‍රතිපත්ති, ක්‍රියාපටිපාටි, පද්ධති සහ අභ්‍යන්තර පාලනයන්හි ප්‍රමාණවත්භාවය සහ ඵලදායීතාවය තක්සේරු කිරීම සඳහා ස්වාධීන තෙවන පාර්ශවීය ඇගයීමක් සිදු කළ යුතු බවද අවදාරනය කරනවා. නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී විසින් ප්රාග්ධනය සහ ද්‍රවශීලතාවයට අදාළ සියලුම නියාමන අවශ්‍යතා අඛණ්ඩව සපුරාලනු ලබයි. නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී හි අධ්යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරිත්වය මෙන්ම අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව සමීපව හා අඛණ්ඩව කටයුතු කරන අතර, තැන්පත්කරුවන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීමට සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය තහවුරු කිරීම සඳහා වැඩිදුර පියවර අවශ්‍ය වුවහොත්, ඒ සඳහා සූදානම්ව සිටී. නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී හි මෙම සිදුවීම හේතුවෙන්, නියාමනයට යටත් අනෙකුත් මූල්‍ය ආයතනවලට අලාභයක් සිදුවී ඇති බවට කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති අතර, විවිධ පාර්ශවයන් මේ සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශ වලින් නොමඟ යාමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.