
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා ඩෙන්මාර්කයේ සිදු කරන නිල සංචාරයේදී එරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරික හා ආයෝජන ආයතන කිහිපයක ප්‍රධානීන් සමඟ පසුගිය 24 වන දින විශේෂ සාකච්ඡා මාලාවක නිරත වූහ.
ලොව දෙවන විශාලතම නාවික ප්‍රවාහන සමාගම වන MAERSK හි ප්‍රධාන මූලස්ථානයේදී එම සමාගමේ ප්‍රධාන නිෂ්පාදන නිලධාරී (Chief Product Officer – Ocean) ජොහාන් සිග්ස්ගාඩ් (Johan Sigsgaard) මහතා සමඟ විශේෂ හමුවක් පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකාවේ ධීවර පවුල්වල තරුණ පරපුරට සහ නාවික ක්ෂේත්රයේ පළපුරුදු පිරිස් වෙත MAERSK සමාගම සතු ජාත්‍යන්තර නෞකාවල වෘත්තීය අවස්ථාවන් (Seafarers) උදාකර දීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය. ශ්‍රී ලංකාවේ පවතින නාවික පුහුණු ආයතන සමග එක්ව ප්‍රායෝගික පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත්, ඒ හරහා ලාංකිකයන්ට විශේෂ රැකියා
කෝටාවක් ලබා ගැනීමටත් අවශ්‍ය යෝජනාවලියක් (Proposal) ඉදිරිපත් කිරීමට මෙහිදී මූලික එකඟතාවකට එළඹුණි.
ඩෙන්මාර්කයේ ප්‍රමුඛතම ව්‍යාපාරික සංගමය වන ‘Danish Industry’හි ජ්‍යෙෂ්ඨ උපදේශක ඕලේ ලිනට් ජූල් (Ole Linnet Juul) මහතා හමුවූ දූත පිරිස, ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්රයට ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීම, තිරසාර මුහුදු සංචාරක ව්‍යාපාරය, පුනර්ජනනීය බලශක්තිය සහ නවීන මත්ස්‍ය පිරිසැකසුම් මධ්‍යස්ථාන ඇති කිරීමේ විභවතාවන් පිළිබඳව කරුණු ඉදිරිපත් කළහ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා හඳුනාගනිමින් එම ක්ෂේත්‍ර නංවාලීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීමට ඩෙන්මාර්ක පාර්ශවය මෙහිදී කැමැත්ත පළ කළහ.
අනතුරුව, ‘Impact Fund’ හි කළමනාකාර අධ්යක්ෂ ඔටෝ වින්තර් ක්‍රිස්ටෙන්සන් (Otto Vinther Christensen) මහතා සමඟ පැවැති සාකච්ඡාවේදී, මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ව්‍යාපෘති සඳහා සහනදායී අඩු පොලී ණය පහසුකම් ලබා ගැනීම පිළිබඳව අවධානය යොමු විය.
විශේෂයෙන්ම හරිත බලශක්තිය සහ මත්ස්‍ය පිරිසැකසුම් කර්මාන්තශාලා සඳහා මෙම අරමුදල හරහා සහය ලබාගත හැකි අතර, ඒ පිළිබඳව ලාංකීය ව්‍යවසායකයින් දැනුවත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආයෝජන සමුළුවකට (Investment Forum) සහභාගී වන ලෙස අමාත්‍යවරයා ඔවුන්ට ඇරයුම් කළේය.
මෙරටට විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට මෙන්ම ජාත්‍යන්තර රැකියා අවස්ථාවන් ජය ගැනීම උදෙසා මෙම සාකච්ඡා මාලාව හරහා ශක්තිමත් පදනමක් සකස් වූ බව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අවධාරණය කළේය.