
මේ වසර අවසාන වන විට මෙරට ඉතිහාසයේ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු වැඩිම විගමණික ශ්‍රමික ප්‍රේෂණ (Remittances) ප්‍රමාණය වාර්තා කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.
මේ වසරේ ගතවූ මුල් මාස හතරක කාලය තුළ ලැබී ඇති ප්‍රේෂණ අගයයන් පුරෝකථනය කරමින් සභාපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (25) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මෙතෙක් ලංකා ඉතිහාසයේ වර්ෂයක් තුළ මෙරටට ලැබුණු වැඩිම විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා වී ඇත්තේ පසුගිය 2025 වර්ෂයේදීයි.
එම වර්ෂයේ මුල් මාස 4 තුළ උපයා තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 2.4 ක ප්‍රේෂණ ප්‍රමාණය සැලකිය යුතු ලෙස අභිබවා යමින්, 2026 වර්ෂයේ මුල් මාස 4 තුළ පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 3.06 ක මුදලක් මෙරටට ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.
මෙම සාධනීය වර්ධනය සැලකිල්ලට ගනිමින්, වත්මන් වසර අවසාන වන විට සමස්තයක් ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 9 ඉක්මවූ ඓතිහාසික ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද මෙහිදී සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මැද පෙරදිග කලාපයේ පවතින නොසන්සුන් සහ යුධමය වාතාවරණය හමුවේ වුවද, මෙලෙස විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහළ යාමට ප්‍රධාන හේතු කිහිපයක් බලපා ඇති බව වික්‍රමසිංහ මෙහිදී පෙන්වා දුන්නා.
ඒ අනුව, විදෙස්ගත ශ්‍රමිකයන්ගේ මූලික වැටුප් වර්ධනය වීම, නව රජය විසින් ගන්නා ලද සාධනීය ක්‍රියාමාර්ග හේතුවෙන් මෙරට විදේශ රැකියා ක්ෂේත්රයට ජාත්‍යන්තර වශයෙන් ඉහළ කීර්තියක් අත්වීම, විදෙස් රැකියා නියුක්තිකයන් වෙනුවෙන් හඳුන්වා දුන් විවිධ වූ සුභසාධන පහසුකම් පුළුල් කිරීම එම හේතු බවයි සභාපතිවරයා පෙන්වා දුන්නේ.