2026 පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ අවසන් තරග කිහිපයක් ක්රියාත්මක වුණා.
එහිදී පාපන්දු ලෝක කුසලානය සිව්වරක් සිය දෝතට ගෙන තිබුණු ඉතාලිය සහ බොස්නියාව අතර තරගය කෙරෙහි ක්රීඩා ලෝලීන්ගේ වැඩි අවධානය දිනාගෙන තිබුණා.
මෙම තරගයේ සම්පූර්ණ කාලය සහ ලබාදුන් අතිරේක කාලය නිමාවන විට දෙපිලම එක් ගෝල බැගින් ලබා සිටීමත් සමග ලෝක කුසලාන වරම් දිනා ගන්නා රට තීරණය කිරීම සඳහා දඬුවම් පහර වෙත යොමුවුණා.
එහිදී දඬුවම් පහර 4ට 1ක් ලෙස සාර්ථක කර ගත් බොස්නියා කණ්ඩායම මෙවර පාපන්දු ලෝක කුසලානයේ වරම් දිනා ගත්තේ අවසනාවන්ත ඉතාලියේ බලාපොරොත්තුව සුණුවිසුණු කරමින්.
ඒ අනුව ඉතාලියට අඛණ්ඩව තෙවැනි වරටත් පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගන්නට නොහැකි වූ අතර, ඔවුන්ට 2018 සහ 2022 පාපන්දු ලෝක කුසලානයට ද සුදුසුකම් ලබා ගන්නට නොහැකිවීමත් කැපී පෙනුණා.
පාපන්දු ලෝක ශූරතාව දිනාගත් රටක් අඛණ්ඩව තෙවරක් පාපන්දු ලෝක කුසලානයකට සුදුසුකම් ලබා ගන්නට නොහැකි වූ පළමු රට බවටත් අවසනාවන්ත ඉතාලිය පත් වුණා.