
කළුතර උතුර හෝටලයක් තුළදී රුපියල් ලක්ෂ 10 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගත්තැයි අල්ලස් කොමිසම විසින් අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයා ලබන 3 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද (23) නියෝග කළා. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ කළුතර දකුණ පොලිස් ස්ථානයට අනුයුක්තව කළුතර විශේෂ අපරාධ විමර්ශන අංශයේ රාජකාරී සිදු කරන ලද පොලිස් පරීක්ෂකවරයෙක් වන උදය කුමාර නමැත්තාය. පුද්ගලයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකරුට අයත් වාහනයක් සම්බන්ධයෙන් කළුතර විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශනයක් සිදු කර තිබෙනවා. එකී වාහනය සම්බන්ධව අධිකරණය වෙත අපරාධමය චෝදනා ගොනු නොකර හරිමින් සාමාන්‍ය පරිදි අධිකරණය වෙත කරුණු වාර්තා කර එම වාහනය හිමිකරුවන පැමිණිලිකරුට ලබා ගැනීමට කටයුතු සිදුකර දීම සඳහා රුපියල් ලක්ෂ 11 ක මුදලක් ඉල්ලා තිබූ බවයි පොලිසිය පවසන්නේ. එකී මුදලින් ඉකුත් 30 වැනිදා රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන, ඒ සඳහා එකඟ වූ පරිදි ඉතිරි රුපියල් ලක්ෂ 10 ක මුදල ඊයේ ( 22) රාත්රියේදී කළුතර හෝටලය තුළදී ලබා ගනිද්දී එහි සිටි අල්ලස් කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දන්වා සිටියා.