
ශ්රී ලංකාව මේ වන විටත් ආර්ථික අර්බුදයකින් ගොඩ ඒමට වෙහෙසෙමින් සිටින රටකි. මේ ගමනේදී බල ශක්ති සුරක්ෂිතතාව යනු රටේ ආර්ථික දේහයේ කොඳුනාරටිය බඳුය. එහෙත්, ශ්රී ලංකාවේ විදුලි අර්බුදය තවමත් සම්පූර්ණයෙන්ම අවසන් වී නැති බව බොහෝ දෙනෙකුට අමතකය. ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිසම (PUCSL) සහ ජාතික පද්ධති ක්රියාකරු (NSO) දැනටමත් අනතුරු අඟවා ඇත්තේ 2027 වසරේ මුල් භාගය වන විට මෙගාවොට් පැය (MWh) 450 ක දැවැන්ත විදුලි හිඟයක් රට තුළ ඇති වීමේ දැඩි අවදානමක් පවතින බවයි.
විශේෂයෙන්ම ලබන වසරේදී එල්නිනෝ (El Niño) තත්ත්වයක් සමඟ රටට දැවැන්ත නියඟයක් පැමිණිය හැකි බවට කාලගුණ විද්යා අංශ අනාවැකි පළ කර ඇත. එසේ වුවහොත් ජල විදුලිය විශාල වශයෙන් අඩාල වනු ඇත. මේ අර්බුදයෙන් ගොඩ ඒමට රටට තිබෙන ප්රායෝගිකම හා ලාභදායීම විසඳුම වන්නේ වහල මත සවි කරන සූර්ය කෝෂ (Rooftop Solar PV) පද්ධතියි. එහෙත් පසුගිය දා බලශක්ති අමාත්යාංශය ගත් හදිසි හා අත්තනෝමතික තීරණයක් හේතුවෙන් සමස්ත සූර්ය බල ශක්ති ක්ෂේත්රයම මේ වන විට දැඩි අවදානමකට ලක්ව ඇත.
අද වන විට වහල මත සවි කරන සූර්ය බල ශක්ති පද්ධති හරහා මෙගාවොට් (MW) 2600 කට අධික ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එකතු වෙයි. මේ හරහා ආනයනික ඛනිජ තෙල් සඳහා වැය වන විදේශ විනිමයෙන් රුපියල් බිලියන 20.4ක් පමණ මාසිකව රටට ඉතිරි කර දීමට දේශීය සුර්ය බල ශක්ති ක්ෂේත්රය සමත් වී තිබේ. දෛනිකව ගත් කල එය රුපියල් බිලියන 1.5ක ඉතිරියකි. යම් හෙයකින් මෙම විදුලි ප්රමාණය ඩීසල් මගින් ජනනය කළා නම්, දවසකට ඒ සඳහා රුපියල් බිලියන 2.5 ක් පමණ වැය කිරීමට රජයට සිදු වේ. ලෝකයේ බොහෝ රටවල් ගල් අඟුරු බලාගාර සඳහා ණය දීම නවතා ඇති පසුබිමක, සූර්ය බලය නොමැති වුවහොත් අපට නැවතත් ඒකකයක් සඳහා රුපියල් 170-180 ක දැවැන්ත පිරිවැයක් දරමින් ඩීසල් විදුලිය මතම යැපීමට සිදු වනු නිසැකය.
ගැටලුව ආරම්භ වන්නේ පසුගිය 2026 සැප්තැම්බර් 11 වන දින බලශක්ති අමාත්යාංශය විසින් නිකුත් කරන ලද නව චක්ර ලේඛයත් සමඟිනි. ඉන් මෙතෙක් ඉතා සාර්ථකව ක්රියාත්මක වූ 'Net Metering' සහ 'Net Accounting' ක්රමවේද සම්පූර්ණයෙන්ම අහෝසි කර දමා ඇත. ඒ වෙනුවට සියලුම නව සම්බන්ධතා සහ ගිවිසුම් දීර්ඝ කිරීම් 'Net Plus' ක්රමය යටතේ පමණක් සිදු කළ යුතු බවට නියෝග කර තිබෙන අතර, මීට පෙර වසර 20ක්ව පැවති ගිවිසුම් කාලය ද උපරිම වශයෙන් වසර 12 කට සීමා කර තිබේ.
මෙමඟින් පාරිභෝගිකයාට සිදුවන මූල්යමය පාඩුව අති විශාලය. සාමාන්යයෙන් පාරිභෝගිකයෙකු රුපියල් ලක්ෂ 15ක් හෝ 20ක් පමණ වියදම් කර නිවසේ සෝලා පද්ධතියක් සවි කරගන්නේ විදුලි ඛිල බිංදුවක් කරගැනීමේ අරමුණෙනි. පැරණි ක්රමය යටතේ කිලෝවොට් 5ක (5kW) පද්ධතියකින් නිපදවන ඒකක 550, පාරිභෝගිකයාගේ නිවසේ භාවිතයට ගන්නා ඒකක 550 සමඟ කැපී ගොස් බිල බිංදුවක් බවට පත් විය.
නමුත් නව 'Net Plus' ක්රමය යටතේ සිදුවන්නේ හාස්යජනක මෙන්ම ඛේදනීය තත්ත්වයකි. අලුත් යෝජනාවට අනුව පාරිභෝගිකයා තමන් නිපදවන විදුලි ඒකක 550 රුපියල් 13,000කට ආසන්න මුදලකට ආණ්ඩුවට විකිණිය යුතුය. ඉන්පසු තමන්ගේ නිවසට අවශ්ය ඒකක 550 සාමාන්ය ගෘහස්ථ ගාස්තු යටතේ රුපියල් 47,000 ක හෝ 48,000 ක මුදලක් ගෙවා ආණ්ඩුවෙන් නැවත මිලදී ගත යුතුය. රුපියල් 13,000ක් අතට ගෙන රුපියල් 48,000ක් ආපසු ගෙවීමේ මේ න්යාය කිසිසේත්ම ප්රායෝගික නැත. වාර්ෂිකව ලංකාවේ විදුලි ගාස්තු 5% ත් 7.5% ත් අතර ප්රමාණයකින් ඉහළ යන පසුබිමක, මෙය පාරිභෝගිකයාට තමන්ගේම විදුලිය නිපදවා ගැනීමේ අයිතිය අහිමි කිරීමක් බව ශ්රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය පෙන්වා දෙයි.
මෙම අසාධාරණ තීරණය ගෘහස්ථ පාරිභෝගිකයාට පමණක් නොව, මෙරට ව්යාපාරික හා වාණිජ ක්ෂේත්රයට ද (General Purpose 02 - GP2) එල්ල කර ඇත්තේ දැවැන්ත පහරකි. උදාහරණයක් ලෙස, මසකට විදුලි ඒකක 11,000 ක් නිපදවන කිලෝවොට් 100 ක (100 kW) සූර්ය පද්ධතියක් සහිත ව්යාපාරයකට 'Net Plus' ක්රමය යටතේ ඒකකයකට රුපියල් 19.15 ක ගාස්තුවක් යටතේ හිමිවන්නේ රුපියල් 210,650 ක ආදායමකි. නමුත්, දිවා කාලයේ ඒකකයකට රුපියල් 51.00 බැගින් වන පද්ධති ගාස්තු යටතේ එම ඒකක 11,000 සඳහාම විදුලිබල මණ්ඩලයට රුපියල් 575,025 ක දැවැන්ත විදුලි බිලක් ගෙවීමට සිදු වේ. එසේම, කිලෝවොට් 250 ක පද්ධතියක් මගින් ලබන රුපියල් 526,625 ක ආදායම හමුවේ රුපියල් 1,437,562.50 ක විදුලි බිලක් ද, කිලෝවොට් 500 ක පද්ධතියක් සඳහා (ඒකකයකට රු. 17.11 බැගින්) ලබන රුපියල් 941,050 ක ආදායම හමුවේ රුපියල් 2,875,125 ක දැවැන්ත විදුලි බිලක් ද දැරීමට ව්යාපාරිකයන්ට සිදු වේ.
මෙලෙස සූර්ය බලශක්තිය භාවිත කරමින් නිෂ්පාදන පිරිවැය පාලනය කරගැනීමට ව්යාපාරිකයන්ට ඇති ඉඩකඩ අහෝසි කර, අධික පිරිවැයක් සහිත ජාතික විදුලිබල පද්ධතිය මතම යැපීමට බලකිරීම මගින් ව්යාපාරවල පැවැත්ම දැඩි අවදානමකට ලක්ව ඇත. ස්වයං විදුලි උත්පාදන අයිතිය අහිමි කරන මෙම අත්තනෝමතික පියවර, පාරිභෝගික අයිතිවාසිකම් (Consumer Rights) බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වන අතරම, විදුලිබල පනතේ (Electricity Act) සඳහන් ප්රධානතම පදනම වන 'අවම පිරිවැය විදුලි උත්පාදන මූලධර්මය' (Least Cost Electricity Principle) මුළුමනින්ම උල්ලංඝනය කිරීමකි.
බලධාරීන් මෙම තීරණය සාධාරණීකරණය කරන්නේ " ජාතික පද්ධතියට දැනටමත් අධික සූර්ය විදුලි ධාරිතාවක් එකතු වී ඇති නිසා පද්ධතිය බැලන්ස් (Balance) කළ යුතු බව " පවසමිනි. නමුත් මේ තර්කය මුළුමනින්ම පරස්පර විරෝධීය. සැබෑ ගැටලුව අධික විදුලියක් පද්ධතියට එක්වීම නම්, 'Net Plus' හරහා ද නැවතත් පද්ධතියට විදුලිය එකතු වන බැවින් ප්රශ්නය විසඳෙන්නේ නැත. ශ්රී ලංකා ජාතික වාණිජ්ය මණ්ඩලයේ උපසභාපති ආචාර්ය ලක්මල් ප්රනාන්දු මහතා පෙන්වා දෙන්නේ මෙය ඩීසල් බලාගාරවලට පක්ෂපාතී හිටපු විදුලිබල මණ්ඩල නිලධාරීන්ගේ සහ ඩීසල් මාෆියාවේ කුමන්ත්රණයක් බවයි. සැබැවින්ම පද්ධතිය සමතුලිත (Balance) කළ යුතු නම් කළ යුත්තේ සෝලා පද්ධති අධෛර්යමත් කිරීම නොව, ලංකාවේ ඇති ට්රාන්ස්ෆෝමර් (Transformers) 33,000 න් වැඩිපුරම භාවිත වන 1000කට හෝ 2000කට බැටරි සවි කර, දහවල් කාලයේ නිපදවෙන අතිරික්ත සූර්ය විදුලිය ගබඩා කර රාත්රියට මුදා හැරීමයි.
මෙම තීරණය ක්රියාත්මක වුවහොත් දැනට ක්ෂේත්රයේ නියැලී සිටින ආයතන 800කට අධික ප්රමාණයක් වැසී ගොස් 21,000කට අධික පිරිසකට සිය රැකියා අහිමි වනු ඇත. එපමණක් නොව, දැනටමත් බැංකු ණය ලබාගෙන සෝලා පද්ධති සවි කර ඇති පාරිභෝගිකයින් 166,000කට මෙය මරු පහරකි. සමාගම් බංකොලොත් වුවහොත්, මේ වන විට සවි කර ඇති මෙගාවොට් 2600 ක පද්ධති නඩත්තු කිරීමට පවා කිසිවෙකු නොමැති වනු ඇත.
මේ බරපතළ තත්ත්වය හමුවේ ශ්රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති අනුර වර්ණ කුලසූරිය මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා (2026.09.23) විශේෂ ලිපියක් යොමු කරමින් ප්රධාන ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කර ඇත. එනම්, සැප්තැම්බර් 11 දිනැති අමාත්යාංශ නියෝගය වහාම අවලංගු කර 'Net Metering' සහ 'Net Accounting' යළි ස්ථාපිත කිරීම සහ ඉදිරියේදී සිදු කරන ඕනෑම වෙනසක් ස්වාධීන නියාමකයා වන PUCSL මගින් ඇගයීමට ලක් කිරීම අනිවාර්ය කිරීමයි. ඊට අමතරව සෝලා කර්මාන්තකරුවන් විසින් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 225 දෙනාටම ලිපි යවමින් මේ පිළිබඳව දැනුවත් කර ඇත.
එමෙන්ම, කඩාගෙන වැටීමේ අවදානමට ලක්ව ඇති සූර්ය බල කර්මාන්තය සුරක්ෂිත කරගැනීම සඳහා සූර්ය බල කර්මාන්තකරුවන් විසින් රජය වෙත ප්රායෝගික යෝජනා මාලාවක් ද ඉදිරිපත් කර ඇති අතර බලධාරීන්ගේ වහා අවධානය ඊට යොමු විය යුතුව ඇත. එහිදී ප්රධාන වශයෙන්ම 'Net Plus' ක්රමය පමණක් පාරිභෝගිකයන් මත බලහත්කාරයෙන් පැටවීම වෙනුවට, විදුලි භාවිතයේ ස්වභාවය අනුව තමන්ට ගැළපෙන වාණිජ ආකෘතිය (Net Metering හෝ Net Accounting) තෝරාගැනීමේ නිදහස පාරිභෝගිකයාට ලබා දිය යුතුය. එසේම, ජාතික පද්ධතියට එන පීඩනය අවම කිරීම සඳහා Solar පද්ධති සමඟ බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS - Battery Energy Storage Systems) භාවිතය දිරිමත් කළ යුතු අතර, දහවල් කාලයේ නිපදවන විදුලිය ගබඩා කර රාත්රී අධික විදුලි ඉල්ලුම පවතින වේලාවන්හිදී (Peak hours) භාවිතයට ගැනීමට ඉඩ සැලසීම තුළින් ජාලයේ සමතුලිතතාව සුරැකිය හැකිය.
තවද, වහල මත සූර්ය පද්ධති සවි කිරීමට පෙර ඒ සඳහා අවශ්ය දරාගැනීමේ හැකියාව ලැබෙන පරිදි ජාතික පද්ධතියේ ට්රාන්ස්ෆෝමර් සහ බෙදාහැරීමේ ජාල (Distribution Networks) යාවත්කාලීන කරමින් ස්මාර්ට් ග්රිඩ් (Smart-grid) තාක්ෂණය වෙත යොමු වීම අත්යවශ්ය වේ. ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කිරීම උදෙසා එකපාරටම ප්රතිපත්ති වෙනස් නොකර දිගුකාලීන ස්ථාවර ප්රතිපත්ති රාමුවක් (Long-term Policy Certainty) සපයා දීමත්, ඕනෑම නියාමන වෙනස්කමකට පෙර කර්මාන්තකරුවන් සහ බලධාරීන් එක්ව තාක්ෂණික හා මූල්යමය පැති පිළිබඳ සාකච්ඡා කර තීරණ ගැනීමත් සිදුවිය යුතුය. අවසාන වශයෙන්, නව සම්බන්ධතාවන් ලබාගැනීමේදී මාස ගණන් ප්රමාද වන රතු පටි රාජ්ය තාන්ත්රික බාධා (Red Tape) ඉවත් කර, පද්ධතියට සම්බන්ධ වීමේ ක්රියාවලිය (Grid Connection process) වඩාත් සරල හා වේගවත් (Streamline) කිරීම ද මෙම අර්බුදයට කඩිනම් විසඳුමකි.
ස්වාධීන නියාමනයකින් තොරව ගත් මෙවැනි ඒක පාර්ශ්වික තීරණ නිසා ආයෝජක විශ්වාසය මුළුමනින්ම බිඳ වැටෙමින් පවතී. ව්යාපාරික ප්රජාව සහ මහජනතාව වහාම මේ පිළිබඳව අවදි නොවුණහොත්, අනාගතයේදී අපට සිදුවන්නේ අහසින් වැටෙන සුර්ය කිරණ පවා ඩීසල් මාෆියාවට පාවා දී, අන්ධකාරයේ අතපත ගාමින් දැවැන්ත විදුලි ඛිලකට කර ගැසීමටයි.