
මීට වසර පහකට පෙර පෑලියගොඩ පොලිස් ස්ථානය තුළදී
නීති ශිෂ්‍යයකුට අමානුෂික ලෙස පහරදී වධහිංසා පැමිණවීමේ
සිද්ධියක් සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසියේ හිටපු
ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු
පොලිස් නිලධාරීන් සිව්දෙනකුට කොළඹ මහාධිකරණය හමුවේ
පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝබර් 12 කැඳවීමට
මහාධිකරණය නියෝග කළා.
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර, ජනාධිපති නීතිඥ මෛත්‍රී
ගුණරත්න මහතාගේ කනිටු පුත්‍රයා වන නීති ශිෂ්‍ය මිගාර
ගුණරත්න මහතාට මෙලෙස පහරදී තිබූ අතර කොළඹ මහාධිකරණ
විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ මෙම නඩුව අද (16)
කැඳවනු ලැබුවා.
මෙම සිද්ධියට අදාළව ආරච්චිගේ ලින්ටන් සිල්වාට අමතරව
ජයකොඩි ආරච්චිගේ සුමිත් කුමාර සෝමරත්න, දිසානායක
මුදියන්සේලාගේ නදුන් තාරක මධුරංග අබේකෝන් සහ
පපාගොඩ ආරච්චිගේ අතුල විජේසිංහ යන පොලිස් නිලධාරීන්
පිරිසකට ඉකුත් ජුනි 17 වැනිදා අධිචෝදනා ගොනු කළා.
නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ
32 වැනි වගන්තිය යටතේ සහ 1994 අංක 22 දරන අමානුෂික හෝ
අවමන් සහගත සැලකීම්වලට හෝ දඬුවම්වලට එරෙහි සම්මුති
පනත (වධහිංසා පනත) යටතේ මෙම නඩුව පවරා ඇත.
2021 වසරේ පෙබරවාරි 25 දා පෑලියගොඩ පොලීසිය විසින් රැඳවුම්
නියෝග මත අත්අඩංගුවට ගෙන සිටි ජනාධිපති නීතිඥවරයාගේ
සේවාදායකයකු වූ ශෂික ජයවීර නමැත්තාට දිවා ආහාරය ලබාදීමට
නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතා උත්සාහ කර ඇත.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් අදාළ සැකකරුගෙන්
බලහත්කාරයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට උත්සාහ කර තිබෙනවා.
එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පොලිස් නිලධාරීන්
විසින් නීති ශිෂ්‍යයාට මෙලෙස අමානුෂික ලෙස පහරදී ඇත.
මෙම සිදුවීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින්
මිගාර ගුණරත්න මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ද පෙත්සමක්
ගොනු කර තිබුණා.
එම පෙත්සම විභාග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල
විසින් තීන්දු කර තිබුණේ එවකට පෑලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාව
සිටි ලින්ටන් සිල්වා ඇතුළු වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින්
ඔවුන්ගේ පෞද්ගලික මුදලින් සහ රජය පෙත්සම්කාර නීති ශිෂ්‍යයාට
වන්දි මුදලක් ගෙවිය යුතු බවයි.
නඩුව ඔක්තෝබර් 12 වැනිදා යළි කැඳවේ.