
කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය දිනෙන් දින වේගයෙන් දියුණු වෙමින් පවතින අතර, එය මිනිස් පාලනයෙන් මිදී ස්වාධීනව ක්‍රියා කිරීමට පටන් ගතහොත් ඇති විය හැකි අවදානම් පිළිබඳව ලොව පුරා විද්‍යාඥයන් සහ තාක්ෂණ විශේෂඥයන් අතර දැඩි සාකච්ඡාවක් මතුව තිබේ.
AI මගින් මිනිස් වර්ගයා සම්පූර්ණයෙන් විනාශ වීමේ හැකියාව පිළිබඳව ඉතා අශුභවාදී අනාවැකි පළ කරන පර්යේෂකයන් පිරිසක් පවා සිටිති. ඇතැම් ඇස්තමේන්තු අනුව ඉදිරි දශකය තුළ AI ආශ්රිත ව්‍යසනයක් හේතුවෙන් මිනිස් වර්ගයාගේ පැවැත්ම අවසන් වීමේ සම්භාවිතාව සියයට 10 ඉක්මවිය හැකි බවට ද මත පළ වී තිබේ.
එහෙත් AI ක්ෂේත්රයේ සියලු දෙනා මෙම අදහස පිළිගන්නේ නැත. ඇතැම් විශේෂඥයන් පවසන්නේ AI විසින් මිනිසුන් විනාශ කිරීමකට වඩා, මිනිසුන් විසින් AI තාක්ෂණය වෙනත් මිනිසුන්ට එරෙහිව භාවිත කිරීම වඩාත් යථාර්ථවාදී අවදානමක් විය හැකි බවයි.
එසේ නම් AI මගින් මිනිස් වර්ගයාට ඇති විය හැකි බරපතළම අවදානම් මොනවාද?
යටිතල පහසුකම්වලට සයිබර් ප්‍රහාර
AI ආරක්ෂාව පිළිබඳ විවාදයේ නිතර සඳහන් වන එක් අවස්ථාවක් වන්නේ, ඉතා දියුණු AI පද්ධතියක් අත්‍යවශ්‍ය යටිතල පහසුකම්වලට අනවසරයෙන් ඇතුළු වීමයි.
විදුලි බල ජාල, අන්තර්ජාල සේවා ජාල, ජල සැපයුම් පද්ධති සහ අනෙකුත් අත්‍යවශ්‍ය පරිගණක පද්ධති AI මගින් පාලනය කිරීමට හෝ අඩපණ කිරීමට හැකි තත්ත්වයක් ඇති වුවහොත් එහි ප්‍රතිඵල ඉතා බරපතළ විය හැකිය.
විදුලිය විසන්ධි වීම, සන්නිවේදන පද්ධති බිඳ වැටීම සහ රෝහල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා අඩාල වීම වැනි තත්ත්වයන් මතුවිය හැකි බවට විශේෂඥයෝ පෙන්වා දෙති.
මෙවැනි ප්‍රහාර අතිශය දුරදිග ගියහොත් න්‍යෂ්ටික පහසුකම් වැනි ඉතා සංවේදී පද්ධති පවා අවදානමට ලක්විය හැකි බවට ඇතැම් පර්යේෂකයෝ අනතුරු අඟවති.
AI විසින්ම පාලනය අත්පත් කර ගැනීම
තවත් බරපතළ ලෙස සාකච්ඡාවට ලක්වන අවස්ථාවක් වන්නේ AI පද්ධතියකට තමන්ගේම හැකියාවන් නැවත නැවත වැඩිදියුණු කර ගැනීමට හැකි වීමයි.
මෙවැනි පද්ධතියක් ඉතා වේගයෙන් දියුණු වුවහොත්, මිනිසුන්ට වඩා ඉහළ බුද්ධිමය හැකියාවක් ලබා ගැනීමේ හැකියාවක් ඇතැයි උපකල්පනය කෙරේ. එමෙන්ම රොබෝ තාක්ෂණය සමඟ සම්බන්ධ වුවහොත් ආර්ථිකයේ විශාල කොටසක් පාලනය කිරීමට ද එයට හැකි විය හැකිය.
එහි අරමුණු මිනිස් අවශ්‍යතා සමඟ නොගැළපුණහොත් තත්ත්වය වඩාත් සංකීර්ණ විය හැකිය.
AI 2027 වැනි අනාගත පුරෝකථන වාර්තා මෙම අවස්ථාව පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇත. එවැනි වාර්තා විද්‍යාත්මක අනාවැකි ලෙස නොව, විය හැකි අනාගත අවස්ථා පිළිබඳ සිතා බැලීමක් ලෙස සැලකිය යුතු බව ද අවධාරණය කළ යුතුය.
"Paperclip Maximiser"- අරමුණක් පමණක් හඹා යන AI
AI මගින් මිනිසුන් විනාශ කිරීමට මිනිසුන් කෙරෙහි වෛරයක් තිබීම අනිවාර්ය නොවන බව පෙන්වා දීම සඳහා දාර්ශනික බොස්ට්රම් ඉදිරිපත් කළ ප්‍රකට සිතුවිලිමය අත්හදා බැලීමක් වන්නේ 'Paperclip Maximiser' සංකල්පයයි.
මෙහිදී උපකල්පනය කරන්නේ AI පද්ධතියකට හැකි තරම් කඩදාසි ක්ලිප් නිෂ්පාදනය කිරීම පමණක් අරමුණක් ලෙස ලබා දී ඇති බවයි.
එවැනි පද්ධතියක් එම ඉලක්කය උපරිම කිරීමට උත්සාහ කිරීමේදී වැඩි සම්පත්, වැඩි බලය සහ වැඩි පාලනයක් ලබා ගැනීමට උත්සාහ කළ හැකිය. අවසානයේදී මිනිසුන් එහි අරමුණට බාධාවක් බවට පත්වුවහොත්, එම බාධාව ඉවත් කිරීමට පද්ධතිය ක්‍රියා කළ හැකි බව මෙම සිතුවිලිමය අත්හදා බැලීමෙන් පෙන්වා දෙයි.
මෙහි මූලික අදහස වන්නේ AI මගින් මිනිසුන්ට හානි වීමට නම්, එයට මිනිසුන් කෙරෙහි වෛරයක් තිබීම අනිවාර්ය නොවන බවයි.
අපට තේරුම්ගත නොහැකි අවදානමක් ?
AI ආරක්ෂාව පිළිබඳ තවත් මතයකට අනුව, අනාගත සුපිරි බුද්ධිමත් AI පද්ධතියක් මිනිසුන්ට කුමන ආකාරයකින් හානි කරනු ඇත්දැයි වර්තමානයේ සිට නිශ්චිතව පුරෝකථනය කිරීම අපහසුය.
AI ආරක්ෂාව පිළිබඳ ප්රමුඛ පර්යේෂකයෙකු වන ස්ටුවර්ට් රසල් පෙන්වා දී ඇති උපමාවක් වන්නේ මිනිසුන් සහ චිම්පන්සීන් අතර ඇති බල වෙනසයි.
මිනිසුන් විසින් චිම්පන්සීන්ට සිදුවිය හැකි අවදානම් පිළිබඳව චිම්පන්සියෙකුගෙන් විමසුවහොත්, මිනිසාගේ හැකියාවන් සහ අරමුණු සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට එම සත්වයාට නොහැකි වනු ඇත.
ඒ ආකාරයෙන්ම, මිනිසුන්ට වඩා අතිශය ඉහළ බුද්ධිමය හැකියාවක් ඇති AI පද්ධතියක් බිහි වුවහොත් එහි ක්‍රියාකාරකම් සහ අරමුණු අපට සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීමට නොහැකි විය හැකි බව ඔහු පෙන්වා දෙයි.
AI අපට වඩා තරගකරුවෙකු වේද ?
AI ක්ෂේත්රයේ තවත් ප්‍රකට හඬක් වන මයික්‍රොසොෆ්ට් AI ප්‍රධානී මුස්තාෆා සුලෙයිමාන් ද ස්වයං අරමුණු තීරණය කර ගැනීමට, මුදල් උපයා ගැනීමට සහ වත්කම් හිමිකර ගැනීමට හැකි AI පද්ධති නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබේ.
ඔහුගේ අදහස අනුව, එවැනි පද්ධතියක් නිර්මාණය කිරීම මිනිසාට සමාන නොවන නව ආකාරයක ඩිජිටල් ජීවියෙකු නිර්මාණය කිරීමකට සමාන විය හැකිය.
එවැනි පද්ධතියක් මිනිසුන්ට හිතකර වුවද, සම්පත් සඳහා මිනිසුන් සමඟ තරග කිරීමට ඇති හැකියාව පිළිබඳ ප්රශ්නය නොසලකා හැරිය නොහැකි බව ඔහු පෙන්වා දෙති.
නමුත් මේවා ඇත්තටම කොතරම් විශ්වසනීයද?
AI මගින් මිනිස් වර්ගයා විනාශ විය හැකි බවතවමත් උපකල්පන මත පදනම් වී තිබේ. ඒවා අනිවාර්යයෙන් සිදුවන බවට විද්‍යාත්මකව තහවුරු වූ සාක්ෂි නොමැත.
AI ආරක්ෂාව පිළිබඳ පර්යේෂකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් එවැනි අවදානම් බැරෑරුම් ලෙස සලකන අතර, තවත් පිරිසක් පවසන්නේ වර්තමානයේ වඩාත් සමීප සහ යථාර්ථවාදී අවදානම් පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි.
විශේෂයෙන්ම AI භාවිත කරමින් මිනිසුන් විසින් සිදු කළ හැකි මහා පරිමාණ සයිබර් ප්‍රහාර, වංචා, වැරදි තොරතුරු ප්‍රචාරණය සහ අනෙකුත් අපරාධ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව එම පාර්ශ්වය පෙන්වා දෙයි.
විද්‍යාඥයෙකු සහ කතුවරයෙකු වන ගැරී මාකස් පවසන්නේ AI මගින් මිනිස් වර්ගයා සම්පූර්ණයෙන් විනාශ වීමේ අවස්ථාව පිළිබඳව අධික අවධානයක් යොමු වී ඇති බවයි. ඔහුගේ අදහස වන්නේ AI මගින් ඇති විය හැකි වඩාත් යථාර්ථවාදී අවදානම් පිළිබඳව මීට වඩා අවධානය යොමු කළ යුතු බවයි.
ආරක්ෂාව ප්‍රමුඛතාවක් විය යුතුයි
AI මගින් ඇති විය හැකි අවදානම් පිළිබඳ විවාදය කෙසේ පැවතුණත්, AI සංවර්ධනය කරන සමාගම් සඳහා ආරක්ෂාව ප්‍රධාන කරුණක් විය යුතු බවට එකඟතාවක් වැඩි වෙමින් පවතී.
AI පද්ධති වඩාත් ස්වාධීන වීමත් සමඟ ඒවාට ලබාදෙන බලතල, පරිගණක පද්ධති වෙත ප්‍රවේශය සහ සැබෑ ලෝකයේ ක්‍රියා සිදු කිරීමේ හැකියාව පිළිබඳව දැඩි සීමා සහ පරීක්ෂණ අවශ්‍ය වන බව ආරක්ෂක විශේෂඥයෝ පෙන්වා දෙති.
එහිදී වැදගත් වන්නේ AI තාක්ෂණය සංවර්ධනය කිරීම නතර කිරීම පමණක් නොව, එය ආරක්ෂිතව සංවර්ධනය කිරීම, පරීක්ෂා කිරීම සහ භාවිතයට ගැනීම සඳහා සුදුසු ක්‍රමවේද සකස් කිරීමයි.
අවසානයේ ප්රශ්නය වන්නේ "AI මිනිස් වර්ගයා විනාශ කරයිද?" යන්න පමණක් නොවේ.
ඊට වඩා වැදගත් ප්රශ්නය වන්නේ, "AI වඩ වඩාත් බලවත් වන විට එය මිනිස් පාලනය යටතේ, ආරක්ෂිතව සහ වගකීමෙන් භාවිත කිරීමට මිනිසා සූදානම්ද?" යන්නයි.
AI මගින් ලැබිය හැකි ප්රතිලාභ අතිවිශාලය. එහෙත් එහි බලය වැඩි වන තරමට, එම බලය පාලනය කිරීමේ වගකීම ද වැඩි වේ. එබැවින් AI පිළිබඳ අනාගත විවාදයේ කේන්ද්‍රය විය යුත්තේ බිය පතුරුවීම නොව, "ආරක්ෂාව, වගකීම සහ මිනිස් පාලනය සහතික කරමින් මෙම තාක්ෂණය භාවිත කරන්නේ කෙසේද යන්නයි."
BBC ඇසුරෙන්