News Center Logo
News Center Logo
අවසන්

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ සිදු දරුණු බස් අනතුර

about 1 month ago

about 1 month ago

ඇල්ල-වැල්ලවාය බස් අනතුර: අනතුරට පත් බස් රථය 2023 දී ලියාපදිංචිය ඉවත් කළ එකක්

ඇල්ල-වැල්ලවාය බස් අනතුර: අනතුරට පත් බස් රථය 2023 දී ලියාපදිංචිය ඉවත් කළ එකක්

කොළඹ — ඇල්ල-වැල්ලවාය මාර්ගයේ සිදුවූ බිහිසුණු බස් අනතුරට ලක්වූ බස් රථය, 2023 වසරේදී ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලියාපදිංචියෙන් ඉවත් කර ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

විනෝද චාරිකා සඳහා පමණක් භාවිත කරන බස්රථ නියාමනය කිරීමට මේ වනවිට නීති නොමැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අනතුර සිදුවූ මාර්ගයේ අනතුරු අවම කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

මේ අතර, අනතුරට පත් බස් රථය පරීක්ෂා කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් තිබේ. ඊට අමතරව, ප්‍රවාහන වෛද්‍ය සභාවේ සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ වැඩසටහනට අනුයුක්ත ප්‍රවාහන අමාත්‍යාංශ නිලධාරීන් කණ්ඩායමක්ද අද (06) දිනයේ අනතුරට පත් බස් රථය පරීක්ෂා කිරීමට ඇල්ල ප්‍රදේශයට යන බව වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් මෙම බස් රථය ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව අසලදී ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරෙන් පුද්ගලයන් 15 දෙනෙකුට දිවි අහිමි විය.

about 1 month ago

ඇල්ල ඛේදවාචකයෙන් දිවි අහිමිවූවන්ට අවසන් ගෞරව දක්වන්න අගමැතිතුමිය තංගල්ලට

ඇල්ල ඛේදවාචකයෙන් දිවි අහිමිවූවන්ට අවසන් ගෞරව දක්වන්න අගමැතිතුමිය තංගල්ලට

ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ පෙරේදා (04) රාත්‍රියේ සිදුවූ බිහිසුණු බස් අනතුරින් මියගිය පිරිසට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය තංගල්ල නගර ශාලාව වෙත ගොස් තිබෙනවා.

අනතුරින් දිවි අහිමිවූවන්ගේ දේහයන් අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වනවිට තංගල්ල නගර ශාලාවේ තැන්පත් කර ඇති අතර ගරුතර මහා සංඝරත්නය, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් සෙනරත් මහතා ඇතුළු විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව සිටිනවා.

තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් මෙම බස් රථය ඇල්ල පොලිස් වසමේ ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී ප්‍රපාතයකට පෙරළී සිදුවූ මෙම අනතුරෙන් 15 දෙනෙකුට දිවි අහිමි වූවා.

අනතුරින් මියගිය පිරිස අතරට තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්. කේ. රූපසේන මහතා ඇතුළු එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු ද ඇතුළත්.

අනතුරින් තුවාල ලැබූ 18 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහල, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වලට ඇතුළත් කර තිබේ.

ඔවුන්ගේ තත්ත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් පවතින බවත්, ඔවුන්ගේ ජීවිත අවදානම පහව ගොස් ඇති බවත් බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඊයේ (05) සඳහන් කළා.

about 1 month ago

තංගල්ල බස් අනතුරේ දිවි අහිමි වූවන්ගේ දේහයන් නගර ශාලාවට රැගෙන එයි

(තංගල්ල) — ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදුවූ දරුණු බස් අනතුරින් මියගිය තංගල්ල නගර සභාවේ සේවකයන්ගේ දේහයන් මේ වනවිට තංගල්ල නගර ශාලාව වෙත රැගෙනවිත් තිබේ. මියගිය අයට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

අනතුරින් මියගිය පුද්ගලයින් 15 දෙනාගෙන් 10 දෙනෙකුගේ දේහයන් මේ වනවිට නගර ශාලාවට රැගෙනවිත් ඇති බව වාර්තාකරු සඳහන් කළේය. මෙම අනතුරෙන් තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ. රූපසේන මහතා ඇතුළු එහි සේවකයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා ගිය පිරිසක් රැගත් බස් රථය පෙරේදා (04) ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුවිය. අනතුරින් තුවාල ලැබූ 18 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහල, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබති.

Loading video player...
about 1 month ago

ඇල්ල බස් අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල් සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියනය බැගින් වන්දි

ඇල්ල බස් අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල් සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියනය බැගින් වන්දි

ඊයේ (04) රාත්‍රියේ ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදු වූ බිහිසුණු බස් අනතුරින් ජීවිත අහිමි වූ පුද්ගලයන්ගේ පවුල් සඳහා ජනාධිපති අරමුදල විසින් රුපියල් මිලියනය බැගින් වන්දි මුදලක් ලබා දීමට තීරණය කර ඇත.

මෙම ඛේදනීය සිදුවීමෙන් ජීවිත රැසක් අහිමි වීම නිසා බොහෝ පවුල් දැඩි ශෝකයට පත්ව සිටිති. මේ දුෂ්කර අවස්ථාවේදී පීඩාවට පත් පවුල්වලට සහාය වීම සඳහා, ක්ෂණික සහන සැලසීමක් ලෙස මෙම වන්දි මුදල ලබා දීමට තීරණය කල බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ.

අනතුරට පත් පවුල්වලට මූල්‍යමය ආධාරයක් ලබා දීම සහ ඛේදවාචකයෙන් පසුව ඔවුන්ට ජීවිතය නැවත ගොඩනගා ගැනීමට උපකාර කිරීම සඳහා තැබූ පියවරක් ලෙස මෙය සැලකේ.

about 1 month ago

ඇල්ල බස් අනතුරේ දිවි පරදුවට තබා ජීවිත බේරූ කෝප්‍රල් බණ්ඩාර

ඇල්ල බස් අනතුරේ දිවි පරදුවට තබා ජීවිත බේරූ කෝප්‍රල් බණ්ඩාර

ඊයේ (04) රාත්‍රියේ ඇල්ල - වැල්ලවාය මාර්ගයේ සිදු වූ බස් අනතුරේදී පුද්ගලයන් තිදෙනෙකු බේරා ගැනීමට කළ නිර්භීත උත්සාහය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකා සෙබළකුට සුවිශේෂී ප්‍රශංසාවක් හිමිව තිබෙනවා.

ඊයේ රාත්‍රී 9.20ට පමණ රාවණා ඇල්ල අසල අනතුර සිදුවූ ස්ථානයට පැමිණි පළමු යුද හමුදා කණ්ඩායම අතර, විශේෂ බලකා ටී ෂර්ට් එකක් ඇඳ සිටි තරුණයෙක් කුඩා කණ්ඩායමක නායකත්වය ගෙන ජීවිත බේරා ගැනීමට පටන් ගෙන තිබෙනවා.

බස් රථය ප්‍රපාතයට පෙරළී ගිය ස්ථානයට ඉහළින් මියගිය පුද්ගලයන් හතර දෙනෙකු සහ තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනෙකු සිරවී සිට ඇති බව වාර්තාවී ඇති අතර සාමාන්‍ය පුද්ගලයෙකුට ළඟා වීමට නොහැකි තරම් දුෂ්කර ස්ථානයකට බැස, තම ජීවිතය ගැන නොසලකා, එම තරුණයා මියගිය සහ තුවාල ලැබූ සියලුම පුද්ගලයන් ආරක්ෂිත ස්ථානයකට රැගෙනවිත් තිබෙනවා.

තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකු සමඟ බැස යන අතරතුර, එම තරුණයාගේ හිස ගලක වැදී බරපතල තුවාලයක් ද සිදුව තිබෙනවා. වේදනාවෙන් සිටියදී පවා ඔහු දිගින් දිගටම මුදවා ගැනීමේ මෙහෙයුමට සහය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මුදවා ගැනීමේ මෙහෙයුමෙන් පසුව, ඔහුට මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබා දී බදුල්ල රෝහලට ඇතුළත් කර ඇත.

පසුව අනාවරණය වී ඇත්තේ, මෙම තරුණයා ශ්‍රී ලංකා යුද හමුදාවේ 2 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එම්.වී.එම්. බණ්ඩාර වන බවයි.

නිවාඩු සඳහා නිවසට පැමිණ සිටි මෙම නිලධාරියා, සිය නිවස අසල සිදු වූ මෙම අනතුරට ක්ෂණිකව ප්‍රතිචාර දක්වා තුවාල ලැබූවන් බේරා ගැනීමට මෙලෙස කටයුතු කර තිබෙනවා.

about 1 month ago

රිය අනතුරු අවම කරගැනීමට ගත හැකි, ප්‍රතිපත්තිමය තීන්දු ගමු - විපක්ෂ නායක සජිත්, මහින්ද තම ගම්වැසියන්ට පිරිසකට වූ අනතුර ගැන ශෝක වෙයි

රිය අනතුරු අවම කරගැනීමට ගත හැකි, ප්‍රතිපත්තිමය තීන්දු ගමු - විපක්ෂ නායක සජිත්,  මහින්ද තම ගම්වැසියන්ට පිරිසකට වූ අනතුර ගැන ශෝක වෙයි

ඉතා අනතුරුදායක පරිසරයක් තුළ ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් ඇල්ල-වැල්ලවාය ඛේදවාචකයේ ජීවිත බේරා ගැනීමට කටයුතු කළ සැමට ස්තුතිවන්ත වන බව, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබුණේ, ඊයේ රාත්‍රියේ (04) ඇල්ල-වැල්ලවාය මාර්ගයේ සිදුවූ අනතුර පිළිබඳව සටහනක් තබමින්.

එම සම්පූර්ණ සටහන පහතින්,

''ඊයේ රාත්‍රියේ (04) ඇල්ල-වැල්ලවාය මාර්ගයේ සිදුව ඇති බස්රථ අනතුර පිළිබඳව අසා බෙහෙවින් කම්පාවට සහ ශෝකයට පත් වූයෙමි.

තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණ, නැවත යමින් සිටිය දී රාවණා ඇල්ල ප්‍රදේශයේ සිදුව ඇති මෙම අනතුර හේතුවෙන් තංගල්ල නගර සභාවේ ලේකම් වන ටී. ඩබ්ලිව්. කේ. රූපසේන මහතා ඇතුළු තවත් පිරිසකගේ ජීවිත රැසක් අහිමි ව ඇති බවත්, තවත් බහුතරයක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.

මුළු රටේ ම ජනතාව සංවේගයට පත් කළ මෙම අනතුර මාගේ ගම් පළාත වන තංගල්ල ප්‍රදේශයේ සැමට අතිශය කණගාටුදායක කරුණක් බව මම දනිමි.

ඉතා අනතුරු දායක පරිසරයක් තුළ ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් කඹ ආධාරයෙන් ප්‍රපාතයට බසිමින් ජීවිත බේරා ගැනීමට කටයුතු කළ විශේෂයෙන්ම තරුණ දරුවන් ඇතුළු ප්‍රදේශවාසීන්, පොලිස්සිය ඇතුළු යුද හා ගුවන් හමුදා නිල දරුවන්, ගිනි නිවීමේ ඒකක නිලධරයන්, වෛද්‍ය කණ්ඩායම් ඇතුළු සැමට මාගේ ස්තුති පූර්වක ආචාරය පුද කරමි.

බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය ද මේ අවස්ථාවේ සිහිපත් කරමි.

මෙම ඛේදනීය අනතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සැමට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් තංගල්ල නගර සභාවේ කාර්ය මණ්ඩලයේ පවුල්වල පිරිස ඇතුළු සියලු දෙනාට මාගේ බලවත් කනගාටුව පළ කරමි.

බස් රථ අනතුරින් තුවාල ලැබූ සැමට ද, විපතට පත් පිරිස බේරා ගැනීමට යාමේදී තුවාල ලබා ප්‍රතිකාර ගනු ලබන ආදරණීය මිනිසුන්ට ද ඉක්මන් සුවය ලැබේවා යන්න අප සැමගේ ප්‍රාර්ථනයයි.''

about 1 month ago

'ඩ්‍රයිවර් බ්‍රේක් නැහැ කිවුවහම, බොරු කියන්න එපා කියලා කට්ටිය හිනා වුණා': ඇල්ල බස් අනතුරෙන් දිවි ගලවා ගත් අයෙක් මුහුණ දුන් අත්දැකීම

ඇල්ල බස් අනතුරෙන් තුවාල ලබා දිවි ගලවාගත් අයෙක් බීබීසී වෙත තමන් මුහුණ දුන් අත්දැකීම බීබීසී සිංහල වෙත විස්තර කළේ ය.

"ඇල්ල හරියේ වංගුවක් ගාවින් කිව්වා බ්‍රේක් නැහැයි කියලා. මම බොනට් එක උඩ ඒ කට්ටිය එක්ක කතා කර කර හිටියා. ඩ්‍රයිවර් කිව්වේ. ඊට පස්සේ කොන්දොස්තරත් හිනා වුණා. ඊට පස්සේ අර අනිත් අහල පහළ කට්ටියත් හිටියා.

එතන එහා පැත්තේ සීට් එකේ එක්කෙනෙකුත් හිටියා එයත් හිනා වුණා බොරු කියන්න එපා කියලා. ඊට පස්සේ දෙවනි වංගුවෙදිත් කිව්වා නෑ, ඇත්තට ම බ්‍රේක් නැහැ කියලා එක පාර කපන්න ගත්තා. ඊට පස්සේ තමයි දන්නේ ඇත්තට ම බ්‍රේක් නැහැ කියලා," ඔහු පැවසීය.

Loading video player...
about 1 month ago

බස් අනතුරින් තංගල්ල නගර සභා ලේකම් ඇතුළු එහි සේවකයන් 12ක් ජීවිතක්ෂයට

 බස් අනතුරින් තංගල්ල නගර සභා ලේකම් ඇතුළු එහි සේවකයන් 12ක් ජීවිතක්ෂයට

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ. රූපසේන මහතා ඇතුළු එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. ඊයේ (04) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් සමස්ත මරණ සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් ඇත.

අනතුරින් මියගිය සෙසු පුද්ගලයන් අතර කුඩා දරුවන් දෙදෙනෙකු සහ බස් රථයේ රියදුරු ද සිටින බව පොලීසිය පවසයි. තවත් 18 දෙනෙකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහල, බණ්ඩාරවෙල සහ දියතලාව රෝහල්වලට ඇතුළත් කර තිබේ.

අනතුරට ලක්ව ඇත්තේ තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විනෝද චාරිකාවක් සඳහා පැමිණි බස් රථයකි. අනතුර සිදුවූ ස්ථානයේ දී පොලීසිය, යුද හමුදාව, ගුවන් හමුදාව, ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පුද්ගලයන් මුදාගෙන ඇත.

about 1 month ago

බස් අනතුරේ සහන සේවා සඳහා හෙලිකොප්ටර යානා 2ක්

ඊයේ (04) රාත්‍රියේ ඇල්ල - වැල්ලවාය මාර්ගයේ සිදුවූ දරුණු බස් අනතුරෙන් පසුව, සහන සහ මුදවාගැනීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ, අවශ්‍ය සහන කටයුතු සඳහා MI-17 වර්ගයේ හෙලිකොප්ටරයක් දියතලාව ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත කර ඇති බවයි. ඊට අමතරව, බරපතළ තුවාල ලැබූවන් ගුවනින් කොළඹට රැගෙන ඒම හෝ වෙනත් ඕනෑම ගලවාගැනීමේ මෙහෙයුමකට සහාය වීම සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සහිත Bell-412 වර්ගයේ හෙලිකොප්ටරයක් වීරවිල ගුවන් හමුදා කඳවුරේ සූදානම් කර ඇත.

අනතුර සිදු වූ අවස්ථාවේ සිටම ගුවන් හමුදාව විසින් රෙජිමේන්තු විශේෂ බලකායේ මුදවා ගැනීමේ කණ්ඩායමක්ද එම ස්ථානයට යොමුකර ඇත.

මීට අමතරව, අනතුර සිදුවූ ප්‍රදේශය නිරීක්ෂණය කිරීම සඳහා බීච් ක්‍රාෆ්ට් වර්ගයේ ගුවන් යානයක් ද ඊයේ රාත්‍රියේ යොදවා තිබුණි. රාත්‍රී කාලයේදී මුදවාගැනීමේ කටයුතු දුෂ්කර වූ බැවින්, ඒ සඳහා පහසුකම් සැලසීම මෙම යානයේ ප්‍රධාන අරමුණ වී ඇත.

Loading video player...
Loading video player...
about 1 month ago

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුරේ බරපතලකම පෙන්වන ඩ්‍රෝන දර්ශන පෙළ

පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැඳවා තවත් 18 දෙනෙකුට තුවාල සිදු ඇල්ල - වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුරේ බරපතලකම පෙන්වන ඩ්‍රෝන දර්ශන පෙළ.

Loading video player...
Loading video player...
Loading video player...
Loading video player...
about 1 month ago

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ බස් අනතුර: ජීප් රථ රියදුරු අත්අඩංගුවට

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ බස් අනතුර: ජීප් රථ රියදුරු අත්අඩංගුවට

ඇල්ල-වැල්ලවාය මාර්ගයේ 15 දෙනෙකුට මරු කැඳවූ බස් අනතුර සම්බන්ධයෙන් ජීප් රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ බස් රථය ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වෙමින් තිබියදී ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටී ප්‍රපාතයකට පෙරළී ඇති බවයි. මේ අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් 18 දෙනෙකු තුවාල ලැබූහ.

ඊයේ (04) රාත්‍රී 9:00ට පමණ සිදුවූ මෙම අනතුරට හේතුව ලෙස සැලකෙන මෙම ගැටීම සම්බන්ධයෙන්, අදාළ ජීප් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

about 1 month ago

ඇල්ල-වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුරකින් මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළට

ඇල්ල-වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුරකින් මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළට

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේ සිදුවූ බස් අනතුරකින් මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි. මෙම අනතුරෙන් තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

පොලීසිය සඳහන් කළේ මියගිය පිරිස අතර කාන්තාවන් 9 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු සිටින බවයි. රෝහල්ගත කළ 18 දෙනා අතර පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු, කාන්තාවන් 7 දෙනෙකු සහ ළමුන් 5 දෙනෙකු සිටින බව වාර්තා වේ.

තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් විනෝද චාරිකාවක් ගොස් යළි පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. බස් රථය මීටර් 200ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 30කට වැඩි පිරිසක් ගමන් කර තිබේ.

අනතුර සිදුවූ ස්ථානයේ පැවැති දැඩි බෑවුම් සහිත තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් පිරිස මුදාගැනීමේ කටයුතු සඳහා පොලීසිය, යුද හමුදාව, ගුවන් හමුදාව, ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසීන් එක්ව විශාල පරිශ්‍රමයක් දරා ඇත.

about 1 month ago

ඇල්ල බස් රථ අනතුරින් මියගිය ගණන 10ක් දක්වා ඉහළට

ඇල්ල බස් රථ අනතුරින් මියගිය ගණන 10ක් දක්වා ඉහළට

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ඊයේ (4) රාත්‍රියේ සිදු වූ අනතුරින් මියගිය සංඛ්‍යාව මේ වනවිට 10ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

තුවාල ලැබූ 15කට වැඩි පිරිසක් මේ වනවිටත් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, තුවාල ලැබූ පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකය.

about 1 month ago

ඇල්ල, වැල්ලවාය මාර්ගයේ බස් රථ අනතුරින් මිය ගිය තුන්දෙනෙකුගේ සිරුරු හමුවෙයි

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද (4) රාත්‍රියේ අනතුරක් සිදුව තිබේ. මේ අනතුරින් මේ වනවිට තුන්දෙනෙකුගේ මියගොස් ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

බස්රථය කිලෝමීටර 24 කනුව ආසන්නයෙන් මෙලෙස ප්‍රපාතයට පෙරළී ඇති අතර, එය මීටර 200ක් පමණ පහළට ගොස් ඇති බව සඳහන්.ඇල්ලේ විනෝද චාරිකාවක් පැමිණි තංගල්ල නගර සභාවේ කාර්යය මණ්ඩලයේ පිරිසක් මෙම අනතුරට මුහුණ පා ඇත. ඔවුන් යළි තංගල්ල බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

Loading video player...
Loading video player...