රටම බලා සිටින පාස්කු මහ නඩුවේ තීන්දුව අද
Sep 22, 2026
පාස්කු මහ නඩුවේ වරදකරු වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් වූ බරපතල වැඩ සහිත සිර දඬුවම් - විත්තිකරුවන්ගේ සියලු දේපළ රාජසන්තකයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ නඩුවේ වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් වූ බරපතල වැඩ සහිත සිර දඬුවමක් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් විසින් අද (22) නියම කළා.
විත්තිකරුවන්ගේ සියලු දේපළ රාජසන්තක කරන ලෙසද අධිකරණයෙන් නියම කළා.
විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙසද අධිකරණය නියෝග කළා.
මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ (සභාපති විනිසුරු), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන විනිසුරු මඬුල්ල විසින්.
පාස්කු මහ නඩුවේ 16 වැනි වරදකරුගෙනුත් අධිකරණයට ප්‍රකාශයක්

පාස්කු නඩු විභාගයේදී අද (22) දින වරදකරු වු 16 වන සැකකරු වන මොහොමඩ් මුස්තෆා මොහොමඩ් හාරිස් තමන්ට නියම කළ දඬුවම ගැන මෙසේ විවෘත අධිකරණයේදී කරුණු ඉදිරිපත් කළා.
"මාස 10කට අධික කාලයක් අධිකරණයට කරුණු ලියලා දුන්නා. සුමාන 2කින් තීන්දුව දුන්නා. අපිට තියෙන ගැළුටව තමයි ඒ ලියල දීපු කරුණු බැලුවද කියන එක. මට තිබුණේ චෝදනා පිටුවෙන් බාගයයි. ගෙදර පුපුරන ද්‍රව්‍ය තිබ්බා කියලා තමයි මට තිබුණු එකම චෝදනාව.
ගල් කොරියකින් ගල් ගෙනාවා ගේ හදන්න. මගේ ෆෝන් එකේ කන්ටැක්ට් තියෙනවා ගල් කොරියේ අයිතිකාරයත් එක්ක. ගල්කොරියේ අයිතිකාරයාව බය කරලා එයාලා සාක්ෂි ලබාගෙන. මං කිසිම වරදක් කරලා නැහැ. නමුත් මාව අත්අඩංගුවට ගත්තා. මාව ඇරෙස්ට් කරද්දි දුවට සුමාන දෙකයි. ලොකු දුවට අවුරුදු හතයි.
මං වරදක් කරලා නැහැ. මට විරුද්ධව එක්කෙනෙක් සාක්ෂි ලබා දුන්නා.ඒ සම්බන්ධයෙන් මම කරුණු එකසිය හැට එකක් ඇතුළත් ලිඛිත දේශනයක් ඉදිරිපත් කළා. බැලුවද කියලා මම දන්නෑ. කොහොමත් මේ නඩුව දේශපාලන පැත්තට තමයි යන්නේ.
මගේ දරු මුණුබුරෝ ගැන හිතලා හරි ලිහිල් දඩුවමක් නියම කරන්න කියලා ඉල්ලනවා.”
පාස්කු මහ නඩුවේ 06 වැනි වරදකරුගෙන් අධිකරණයට ප්‍රකාශයක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට සම්බන්ධ නඩු විභාගයේදී විත්තිවාචික ලබා නොදී නිහඩව සිට අද (22) දින වරදකරු වු 6 වන සැකකරු වන මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් තමන්ට නියම කළ දඬුවම ගැන මෙසේ විවෘත අධිකරණයේදී කරුණු ඉදිරිපත් කළා.
“බොහොම සතුටින් මං ඉන්නේ. ඔබතුමාලා තිදෙනාට මට තියෙන සතුට නැහැ කියලා මම හිතනවා. හිතට එකඟවම ඔබතුමාලට දඬුවමක් දෙන්න බැහැ කියලා මට තේරෙනවා. ප්‍රථම වතාවට මං කතා කරන්නේ. නිහඬ පිළිවෙතක් තමයි මම අනුගමනය කළේ.
අල්ලාහ් දෙවියන් අවස්ථාවක් දීලා තියෙනවා. මම වරදකරු වුණා. ඒ අවස්ථාවේත් මං ගැන සතුටුයි. රටේ පවතින තත්ත්වය ගොඩක් බලපානවා. අගතියට පත් පාර්ශ්වයට අපේ පවුලෙන් අපි වරදක් කරලා නැහැ. අල්ලාහ් දෙවියන් දන්නවා වරදක් කරලා නැහැ කියලා. මෙම සිද්ධියට කවුරු හරි මම කරලා තියෙනවා නම්, ඒක දෙයියෝ බලාගනි.” " යුක්තිය ඉටු කරන එකම අවස්ථාවක් ලැබෙනවා නම් මං දිනූ දේශය වෙනුවෙන් යුක්තිය ඉටු කරනවා. මේකට සම්බන්ධ කට්ටිය ඉන්නවා. ගින්නක් නැතුව දුමක් නගින්න නැහැ. මේ සිද්ධියට සම්බන්ධ එළියේ ඉන්න අය ප්‍රශ්න ඔළුවේ උඩ තියාන ගිනි අරන් වගේ ඉන්නේ. අපිත් එක්ක අද නිදහස් වෙලා ගිය අය ගියේ අඬාගෙන. නමුත් අපි වරදකරුවන් වුණත් ඉන්නේ හිනාවෙලා. අපි හිනාවෙලා බාරගත්තා.” " මේ වගේ නඩු විභාගයක් දැකලවත් නැති ඇති. මගේ වයිෆ් කැන්සර් රෝගයකින් පෙලෙනවා. අම්මට අවුරුදු හැත්තෑ පහයි. නංගි ඕලෙවල් කරලා ඉන්නේ. නමුත් මම ඒවා ගැන හිතන්නෑ මම ඉන්නේ සතුටින්. මට කියන්න තියෙන්නේ අපි නොකරපු වරදකට ඇයි අපිව පත්කලේ. මම කැමතියි මෙම සිද්ධියට අදාල සාක්ෂි දෙන්න. ඒ කියන්නේ යුක්තිය ඉටු වෙන්න.”
පාස්කු නඩුවේ දඬුවම් ප්‍රකාශයට පත්කිරීම රාත්‍රී 9.00ට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාල ප්‍රධාන නඩුවේ වරදකරුවන් 15 දෙනා සම්බන්ධයෙන් වන දඬුවම් ප්‍රකාශ කිරීම අද (22) රාත්‍රී 9.00ට ප්‍රකාශ කරන බව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කර තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ අද (22) රාත්‍රී 7.45ට පමණ නැවත නඩුව කැඳවූ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල නඩුවේ දඬුවම් ප්‍රකාශයට පත්කිරීම රාත්‍රී 9.00ට කැඳවීමට නියම කළ බවයි.
කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ (සභාපති විනිසුරු), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවෙනවා.
15 දෙනෙකු වරදකරු වී 9 දෙනෙකු නිදහස් වූ පාස්කු ප්‍රහාර නඩුවේ මෙතෙක් කතාව

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 15 දෙනකු වරදකරුවන් බවට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (22) තීන්දු කළේය.
ඒ පුද්ගලයින් 269 දෙනෙකුට දිවි අහිමි කරමින් සහ තවත් 500කට අධික පිරිසකට තුවාල සිදුකළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩු විභාගයේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි.
කෙසේවෙතත් ඊට අදාළව චෝදනා එල්ලව සිටි තවත් විත්තිකරුවන් 9 දෙනකු අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.
ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන 3ක් සහ කොළඹ ප්‍රධාන හෝටල් 3ක් ඉලක්ක කරගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සිදුවූයේ 2019 අප්‍රේල් 21 වැනිදා යෙදුණු පාස්කු ඉරු දිනයේදීය.
ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බකරුවන් 9 දෙනෙකු විසින් ප්‍රහාර මාලාව දියත් කරනු ලැබීය.
එම ප්‍රහාර මාලාවෙන් ලාංකිකයින් ඇතුළු පුද්ගලයින් 269 දෙනෙකුට දිවි අහිමිවූ අතර කුඩා දරුවන් ඇතුළු තවත් 500කට අධික පිරිසක් තුවාල ලැබුවේ ජාත්‍යන්තරයේද අවධානය ඒ වෙත යොමු කරවමිනි.
සිදුකළ විමර්ශනවලින් පසු පාස්කු ප්‍රහාරයට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව 2019 වසරේදී නඩු පැවරීය.
නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ මෙම නඩුව සඳහා පැමිණිලිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබාදී තිබුණි.
වසර කිහිපයක් පුරා පැවති සාක්ෂි විමසීමේ කටයුතු අවසන් කෙරුණේ ඉකුත් අගෝස්තු 24 වැනිදාය.
ඒ අනුව මෙම නීති කෘත්‍යයේ අවසාන තීන්දුව අද ප්‍රකාශයට පත්කරන බව නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මීට පෙර නිවේදනය කර තිබුණි.
ඒ අනුව අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයට අද පෙරවරුවේ සිට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති අයුරුද දක්නට ලැබුණි.
පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් නිල සුනඛයින්, පොලිස් ජංගම CCTV රථය මෙන්ම ගිලන් රථද එහි ස්ථානගත කර තිබුණි.
එහිදී පාස්කු නඩුවේ විත්තිකරුවන් වන නවුෆර් මවුලවී ඇතුළු පිරිස අද පෙරවරුවේ අධිකරණය වෙත රැගෙන එනු ලැබීය.
කතෝලික සභාවේ පියතුමන් ඇතුළු පාර්ශ්ව කිහිපයක්ද අධිකරණය පරිශ්‍රය වෙත පැමිණියෝය.
අද පෙරවරු 11.30ට පමණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ඇරඹුණි.
තීන්දුව ප්‍රකාශ කරමින් සභාපති විනිසුරු නවරත්න මාරසිංහ මහතා පැවසුවේ ඉතා විශාල නඩු තීන්දුවක වැදගත්ම කරුණු පමණක් විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කරන බවය.
ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව පිටු 8,900 ක වෙළුම් 9කින් යුත් අධිචෝදනා පත්‍රයක් භාරදී තිබෙන බවද විනිසුරුවරයා සඳහන් කළේය.
එහි පාස්කු ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම, ඊට ආධාර අනුබල දීම, අන්තවාදී මතවාද සහ ජාතීන් අතර අසමගිය පැතිරවීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2, 1 ඌ සහ 2 , 1 ඌ සමඟ කියවිය යුතු 2 , 2 වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරද සිදුකර ඇතැයි විත්තිකරුවන්ට චෝදනා එල්ල කර තිබෙන බව විනිසුරුවරයා පැවසුවේය.
ඒ අනුව මෙම විත්තිකරුවන්, පාස්කු ප්‍රහාරයට පෙර අන්තවාදී දේශන සහ අවි ආයුධ පුහුණුව සම්බන්ධයෙන් පුහුණු වැඩමුළු සහ ආරක්ෂිත ස්ථාන පවත්වාගෙන යාම පිළිබඳ විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති කරුණු සලකා බැලීම සිදුව තිබේ.
එහිදී සභාපති විනිසුරු නවරත්න මාරසිංහ මහතා විවෘත අධිකරණය හමුවේ මෙලෙස ප්‍රකාශ කළේය.
''කුමන්ත්‍රණයට සම්බන්ධ අය එක එක තැන්වල පේළි ගැසී සිටිය යුතුයි කියලා දෙයක් නැහැ. කුමන්ත්‍රණය, එකඟවීම, කෙලින්ම හෝ ව්‍යංගයෙන් වෙන්න පුළුවන්. මුලදී සම්බන්ධ වූ අය, අතරමැදිව සම්බන්ධ වූ අය වගේම අවසානයට සම්බන්ධ වූ අයත් කුමන්ත්රණයේ පාර්ශ්වකරුවන් වෙන්න පුළුවන්''
අනතුරුව එක් එක් විත්තිකරුවන් ඉදිරිපත් කළ විත්තිවාචික අධිකරණය ඉදිරියේ සලකා බැලූ බව විනිසුරුවරයා පැවසුවේය.
එහිදී මෙම විත්තිකරුවන් අතර සිටි පළමු විත්තිකරු වන මොහොම්මදු ඊබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් හෙවත් නවුෆර් මවුලවී, දෙවන විත්තිකරු වන ගෆූර් මාමා, තෙවන විත්තිකරු වන හයාතු මොහොම්මදු මිල්හාන්, සිව්වන විත්තිකරු වන මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා, පස්වන විත්තිකරු වන මොහොමඩ් ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල්ලා ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු ඉදිරිපත් කළ විත්තිවාචික අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
කෙසේවෙතත් අනෙක් විත්තිකරුවන් 9 දෙනා ඉදිරිපත් කර ඇති විත්තිවාචික අධිකරණය පිළිගන්නා බව මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.
ඒ අනුව සිය අවසන් නිගමනය ප්‍රකාශයට පත්කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා මෙසේ ප්‍රකාශ කළේය.
''සියලු සාක්ෂි සලකා බැලීමෙන් පසු විනිසුරුවරුන් තිදෙනාගේම ඒකමතික තීන්දුවක් ලෙස මෙම නිගමනවලට එළැඹ තිබෙනවා. ඒ අනුව මෙම නඩුවේ පළමු, දෙවන, තෙවන,සිව්වන, පස්වන, හයවන, හත්වන, අටවන, නවවන, දහවන, එකොළොස්වන, පහළොස්වන, දහසයවන, දාහත්වන සහ දහඅටවන විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබූ අධිචෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඉදිරිපත් කර ඇති බවට විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කරනු ලබනවා.
කෙසේවෙතත් දොළොස්වන, දහතුන්වන, දාහතරවන, විසිවන, විසිඑක්වන, විසිදෙවන, විසි තුන්වන, විසි හතරවන සහ විසිපස්වන විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට අසමත් වී ඇති බැවින් ඔවුන් නිදොස්කොට නිදහස් කිරීමට තීන්දු කරනු ලබනවා''
ඒ අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුණු 15 දෙනා හට නියම කෙරෙන දඬුවම කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය මේ වන විටත් ප්‍රකාශයට පත් කරමින් පවති.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ චෝදනාවලට වරදකරුවන් වූවන් සහ නිදොස් කොට නිදහස්වූවන්
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත්කළා.
විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ, අදාල චෝදනා එල්ල වී සිටි සෙසු විත්තිකරුවන් 9 දෙනෙකු නිදොස් කොට නිදහස් කරන බවයි.
මෙලෙස ප්‍රකාශයට පත්කෙරුණේ 2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරක හෝටල්, කිතුනු දේවස්ථාන ඇතුළු ස්ථාන ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ තීන්දුවයි.
එම විත්තිකරුවන්ගෙන් 'යාසින් බාවා අබ්දුල් රාවුෆ්' නමැත්තා නඩු විභාගය අතරතුර 2023 වසරේදී මියගොස් ඇත.
ඒ අනුව, චෝදනාවලට වරදකරුවන් වූවන් සහ නිදොස් කොට නිදහස්වූවන් පහත පරිදි වේ.
(1) මොහොමඩ් ඉබ්රාහිම් මොහොමඩ් නවුෆර් හෙවත් නවුෆර් මවුලවි සියලු චෝදනාවලට වරදකරු
(2) මොහොමඩ් සරිබු ආදම් ලෙබ්බේ හෙවත් අබු හාදික් සියලු චෝදනාවලට වරදකරු
(3) හයාතු මොහොමඩ් අහමඩ් මිල්හාන් හෙවත් අබු සිල්ලා සියලු චෝදනාවලට වරදකරු
(4) මොහොමඩ් ඉබ්රාහිම් සාදික් අබ්දුල්ලා හෙවත් අබු උමාර් සියලු චෝදනාවලට වරදකරු
(5) මොහොමඩ් ඉබ්රාහිම් අබ්දුල් හක් හෙවත් අබු ෆලා සියලු චෝදනාවලට වරදකරු
(6) මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් හෙවත් අබු තාරික් සියලු චෝදනාවලට වරදකරු
(7) මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනාස්දීන් හෙවත් අබු මිසාන් සියලු චෝදනාවලට වරදකරු
(8) අබ්දුල් මනාෆ් මොහොමඩ් ෆිරිදවුස් සියලු චෝදනාවලට වරදකරු
(9) මොහොමඩ් රමීෂ් මොහොමඩ් සාරික්/සාජිත් සියලු චෝදනාවලට වරදකරු
(10) අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි හෙවත් සාෆි මවුලවි/අබු ෆුර්කාන් එක් චෝදනාවකින් පමණක් නිදහස්; අනෙක් චෝදනාවලට වරදකරු
(11) හුසේනුල් රිස්වි මොහොමඩ් කාහිර් සමීර් සියලු චෝදනාවලට වරදකරු
(12) මොහොමඩ් සහීර් මොහොමඩ් හසන් හෙවත් අබු ඩාවුඩ් නිදොස් කොට නිදහස්
(13) මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් හෙවත් අබු මොහොමඩ් නිදොස් කොට නිදහස්
(14) රෂීඩ් මොහොමඩ් ඉබ්රාහිම් නිදොස් කොට නිදහස්
(15) මොහොමඩ් හනීෆා සයිනුල් ආබ්දීන් හෙවත් අබු හිනා සියලු චෝදනාවලට වරදකරු
(16) මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් හාරිස් හෙවත් අබු නන්ජියාර් සියලු චෝදනාවලට වරදකරු
(17) යාසින් බාවා අබ්දුල් රවුෆ් නඩු විභාගය අතරතුර බන්ධනාගාර භාරයේදී මියගොස් ඇත.
(18) රාසික් රාසා හුසේන් සියලු චෝදනාවලට වරදකරු
(19) කච්චි මොහොමඩ් ජස්මින් සියලු චෝදනාවලට වරදකරු
(20) සයිනුල් ආබ්දීන් මොහොමඩ් ජසීම් නිදොස් කොට නිදහස්
(21) මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් රිස්වාන් නිදොස් කොට නිදහස්
(22) මීරා සාහිබ් මොහොමඩ් නෆ්ලි හෙවත් අබු සනා නිදොස් කොට නිදහස්
(23) මොහොමඩ් අමීර් මොහොමඩ් අයාතුල්ලා නිදොස් කොට නිදහස්
(24) මොහොමඩ් අන්සාර්දීන් මොහොමඩ් ඉල්මි නිදොස් කොට නිදහස්
(25) මොහොමඩ් අක්රම් අහක්කම් නිදොස් කොට නිදහස්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ - 09 ක් නිදොස් කොට නිදහස්

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත්කළා.
විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ, අදාල චෝදනා එල්ල වී සිටි සෙසු විත්තිකරුවන් 9 දෙනෙකු නිදොස් කොට නිදහස් කරන බවයි.
විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීම සඳහා මේ වන විට නඩුව කල් තබා තිබෙනවා.
මෙලෙස ප්‍රකාශයට පත්කෙරුණේ 2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරක හෝටල්, කිතුනු දේවස්ථාන ඇතුළු ස්ථාන ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ තීන්දුවයි.
එම විත්තිකරුවන්ගෙන් 'යාසින් බාවා අබ්දුල් රාවුෆ්' නමැත්තා නඩු විභාගය අතරතුර 2023 වසරේදී මියගොස් ඇත.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණු බෝම්බකරුවන් කවුද?

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉලක්ක කර බෝම්බ ප්‍රහාරය එල්ල කළේ, අහමඩ් මුවාස් නම් පුද්ගලයෙකි. ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගැනුණා.
කටුවාපිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ බෝම්බකරු ලෙස මොහොමඩ් හස්තුන් හඳුනාගෙන තිබෙනවා.
තෙවන ඉලක්කය වූ කිංස්බරි හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කලේ මොහමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නමැති පුද්ගලයා ය. ඔහුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවේ පසුවෙනවා.
සමස්ත ප්රහාරයන්ට වගකිව යුතු ෂැන්ග්‍රි-ලා බෝම්බකරුවන්ගෙන් එක් අයෙකු වන්නේ සහරාන් හෂීම් ය. අනෙක් පුද්ගලයා ඉල්හාම් අහමර්ඩ් මොහොමඩ් ඉබ්රාහිම් ය.
මඩකලපුවේ පිහිටි සියොන් දේවස්ථානයට මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් විසින් බෝම්බ ප්‍රහාරය එල්ල කෙරුණා.
සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ඉල්හාම් ගේ වැඩිමහල් සහෝදරයා වන ඉන්ෂාෆ් අහමඩ් ඉබ්‍රාහිම්ය.
කොළඹ ටාජ්සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරුවා හැරීමට අපොහොසත් වූ නමුත් දෙහිවල පිහිටි කුඩා ලැගුම්ගලකදී බෝම්බය පුපුරුවා හැරියේ බ්‍රිතාන්‍යයේ සහ ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබූ අබ්දුල් ලතීෆ් ය.
මේ අතර, දෙහිවල මහවිල උද්‍යානයේ නිවසක් පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ගිය අවස්ථාවේදී ඉල්හාම් ඊබ්රාහිම්ගේ බිරිඳ වූ ෆාතිමා ඊබ්‍රාහිම් බෝම්බයක් පුපුරුවා ගත් අතර, ඉන් පොලිස් නිලධාරීන් තිදෙනෙක්, ෆාතිමා සහ ඇගේ කුසේ සිටි දරුවා මෙන් ම තවත් දරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.
නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනා කවුද?

2019 වසරේ පාස්කු ඉරිදා දින සහරාන් හෂීම් ප්රමුඛ අන්තවාදීන් පිරිසක් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 23,270ක් යටතේ නීතිපතිවරයා විසින් 2021 ඔක්තෝබර් මස 4 වන දා නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව අධිචෝදනා භාර දෙනු ලැබුවා.
ඉන් යාසින් බාවා අබ්දුල් රාවුෆ් නමැත්තා නඩු විභාගය අතරතුර 2023 වසරේදී මියගොස් තිබුණා.
සෙසු විත්තිකරුවන් කවුද?
-
මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි:
-
මොහොම්මදු සරිබූ ආදම් ලෙබ්බේ (අබූ හදීක් හෙවත් ගෆූර් මාමා)
-
හයාතු මොහොමදු මිල්හාන් (අබු සිලා)
-
මොහොමදු ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්)
-
මොහොමඩ් ඊබ්‍රහිම් ෂාහීඩ් අබ්දුල් හක් (අබූ ෆලා)
-
මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් (අබු තාරික්)
-
මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනස්දීන් (අබූ මිසාන්)
-
අබ්දුල් මනාෆ් මොහොමඩ් ෆිර්දවුස්
-
මොහොමඩ් රමිෂ් මොහොමඩ් සජීඩ් හෙවත් සජීඩ් මවුලවි (අබු නජා)
-
අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි (සාෆි මවුලවි/අබු ෆුර්කාන්)
-
හුසේනූල් රිස්වි කාලිද් සමීර්
-
මොහොමඩ් සවාහීර් මොහොමඩ් හසන් (අබු දාවුද්)
-
මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් (අබූ මොහොමඩ්)
-
රෂීඩ් මොහොමඩ් ඊබ්‍රාහිම්
-
මොහොමදු හනීෆා සෙයිනූල් ආබ්දීන් (අබු හිනා)
-
මොහොමඩ් මුස්තාපා මොහොමඩ් හාරිස් (අබු නාන් සීයාර්)
-
රසික් රාසා හුසේන්
-
කච්චි මොහොමඩ් ජෙස්මින්
-
සෙයිනූල් ආබ්දීන් මොහොමඩ් ජසීන්
-
මොහොමඩ් මුස්තාපා මොහොමඩ් රිස්වාන්
-
මීරා සහීඩ් මොහමඩ් නෆ්ලි (අබු සනා)
-
මොහොමඩ් අමීන් අයන්තුල්ලා
-
මොහොමඩ් අන්සාර්දීන් හිල්මි
-
මොහොමඩ් අක්රම් අහක්කම්
නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනා අධිකරණය වෙත රැගෙන එයි

නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනා අධිකරණය වෙත අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.
එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ, උදෑසන 7:55ට පමණ ඔවුන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට රැගෙන ආ බවයි.
මේ වන විට අධිකරණය අවට ආරක්ෂාව සඳහා පොලිසිය සහ විශේෂ කාර්ය බළකා ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් යොදවා ඇති බව ද අප වාර්තාකරු සඳහන් කළා.
පාස්කු මහ නඩුවේ තීන්දුව අද - අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ප්‍රහාරයට අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන අද (22) දිනයේ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය තීරණය කර තිබේ.
ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් අනියුක්ත කර ඇති බව වාර්තා වෙයි.
2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව අද දිනයේ මෙලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.
අද පෙරවරුවේ අලුත්කඩේ මහාධිකරණයේදී නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ මෙම නඩුව සඳහා පැමිණිලිකරුවන් 2309 දෙනෙකු සාක්ෂි ලබාදී තිබුණි.
පසුගිය අගෝස්තු 24 වන දින සාක්ෂි විමසීමේ කටයුතු අවසන් කෙරුණු අතර නඩුවේ අවසාන තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත්කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම්දී තිබුණි.