තීපවාලි නිවාඩුවේ නිමිත්තෙන් නුවරඑළිය ග්‍රෙගරි වැව හතරවන අදියරේ සංවිධානය කර තිබෙන ඉන්ද මූමන්ට් සමාජ විවෘත විනෝද සැණකෙළිය සඳහා සහභාගි වීමේ අපේක්ෂාවෙන් කුෂ් අසිස් හෙරෝයින් වී.අයි.ආර්. පී ගැබ්ලින් මත් පෙති සන්තකයේ තබාගත් වයස අවුරුදු 18ත් 28ත් අතර තරුණ තරුණියන් විසිහතරක්නුවරඑළිය හා කොත්මලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එස්.සී සංජීව මහතා පවසයි.
සති අන්ත නිවාඩුව වෙනුවෙන් සංවිධානය කරනු ලබන සමාජ විවෘත සාදය තුළ නොයෙකුත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පිරිස් සහභාගී වන බවට ලැබුණු තොරතුරු මත පදනම් වී නුවරඑළිය දිසාව භාර නියෝජ්‍යය පොලිස්පති පියන්ත චන්ද්‍රසිරි මහතාගේ උපදෙන් පරිදි නුවරඑළිය කොට්ඨාස භාර සහකාර පොලිස් අධ්‍යක්ෂක ජී.බී.ජේ.එස්.චන්ද්‍රසේකර බණ්ඩාර මහතාගේ හා සහකාර පොලිස් අධිකාරී එක චන්දන බස්නායක මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එස්.සී .සංජීව මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු බස් කණ්ඩායම විසින් මෙම විමර්ශනය සිදුකර ඇත.
මෙම වැටලීමේදී නුවරඑළිය පොලිසිය මගින් සැකකරුවන් 18 දෙනකු සහ කොත්මලේ පොලිසිය විසින් සැකකරුවන් 06 අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සමස්ත සැකකරුවන් 24 දෙනාගෙන් එක් කාන්තාවක්ද වේ .
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ගම්පහ වැල්ලම්පිටිය දෙමටගොඩ ඇතුළු බස්නාහිර පළාතට සහ මානුවර දිස්ත්‍රික්කයට අයත් පුද්ගලයන් බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී සමාජ ශාලාවල බහුලව වශයෙන් භාවිතා කරනු ලබන අසිස් හෙරෝයින් වී.අයි.ආර්. පී ගැබ්ලින් මත් පෙති සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය කියයි .
අත්අඩංගුවට ගත් සැකකරුවන් විසි හතර දෙනාගෙන් පහළොස් දෙනෙකු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති අතර අනෙකුත් සැකකරුවත් අධිකරණය වෙත ඉදිරිපත් කර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එස්.සී සජීව මහතා පවසයි .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළි සිවිල් කමිටු සාමාජික කීපදෙනෙකුගේ අප සිදු කළ විමසුම් වලට ඔවුන් කියා සිටියේ මීට පෙරද අදාල සමාජ විවෘත සාදය නුවරඑළිය පැවැත්වීමේදී පොලිසිය මගින් සිදු කළවැටලීම්වලදී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති පසුබිමක නුවරඑළිය සංචාරක නගරයට එකතු කරන මෙවන් සමාජ සාද පැවැත්වීමට වගකීමකින් තොරව අවසර ලබාදෙන නිලධාරීන් පිළිබඳවද විමර්ශනයක් සිදු කිරීමට අවශ්‍ය බවය .
( ආර්.එෆ්.එම්. සුහෙල් - නුවරඑළිය )