
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවී වසර හතක් සපිරීම නිමිත්තෙන් අද උදෑසන පැවැති විශේෂ දේව මෙහෙය අමතමින් කොළඹ අගරදගුරු, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේ වත්මන් රජය යටතේ එම ප්‍රහාරය පිළිබඳ විමර්ශන ප්‍රගතියක් ලබමින් පවතින බවයි.
කෙසේ වෙතත්, ඇතැම් පාර්ශවයන් මෙම විමර්ශනවලට බාධා කිරීමට උත්සාහ කරමින් සිටින බව ද උන්වහන්සේ මෙහිදී පෙන්වා දෙන ලදී.
ප්‍රහාරය සම්බන්ධයෙන් සිය රාජකාරිය පැහැර හැර ඇති බවට ජනාධිපති කොමිසම විසින් හඳුනාගත් ජනාධිපතිවරුන්, ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙස උපදෙස් දී තිබුණද, නීතිපතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම ප්‍රමාද කිරීම පිළිබඳව ද උන්වහන්සේ සිය කණගාටුව පළ කරන ලදී.
එමෙන්ම එවකට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳව ද කාදිනල් හිමි සිය ප්‍රකාශය මඟින් අවධාරණය කෙරිණි,
''2019 අප්‍රේල් මස 05 වන දින අලුයම 3:00 ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිටවීමේ දොරටුව අසලදී සැකකටයුතු ලොරි රථයක් පරීක්ෂාවට භාජනය කිරීමට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු උත්සාහ කළ විට, එම ලොරි රථයට පරීක්ෂාවකින් තොරව යන්නට ඉඩ දෙන ලෙස එවකට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අය දුරකතන ඇමතුමකින් අණ කළේ ඇයිදැයි සොයා බැලිය යුතුය. එම ලොරි රථයේ ප්‍රවාහනය කළේ කුමක්ද? එම රථයෙන් පානදුර ප්‍රදේශයේ නිවසකට ගෙනැවිත් ගොඩබෑවේ මොනවාද? ඒ නිවස තුළ සිටි අය කවුරුන්ද? එම ගොඩබෑ දෑ පසුව වෙනත් ස්ථානයකට ගෙන ගියේද? එසේ නම් ඒ කිනම් ස්ථානයකටද යන්න විමසා බැලීම අත්‍යවශ්‍ය වේ.
අලුයම 3:00 ට මෙවැනි නියෝගයක් ලබා දීමට තරම් දේශබන්දු තෙන්නකෝන් නියෝජ්‍ය පොලිස්පතිතුමා ක්‍රියාකාරී වූයේ ඇයිදැයි සොයා බැලිය යුතුය. සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදී කණ්ඩායම පානදුර වලාන ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පාස්කු ප්‍රහාරයට පෙර දිනවල එහි පදිංචිව සිටි බවට කරුණු ඉදිරිපත් වීම තුළ මෙම විමර්ශනය අත්‍යවශ්‍ය වන බව පැහැදිලිය.
වසර ගණනාවක් පුරාවට මෙම ප්‍රහාරයේ වින්දිතයෝ, එයින් මියගිය තමන්ගේ ආදරණීය භාර්යාවන්, ස්වාමිපුරුෂයන් සහ දරුවන් වෙනුවෙන් අපමණ දුක් විඳිති. සුසුම්ලමින් අප වෙත පැමිණෙන ඔවුහු සිය දුක හා වේදනාව පවසමින්, මේ මහා අපරාධයේ සත්‍යය කවදා හෙළිවේදැයි අපෙන් විමසති. එදා සිට අද දක්වා මේ පිළිබඳව විමර්ශනය කිරීමට රාජ්‍ය මට්ටමේ කමිටු, කාරක සභා සහ කොමිෂන් සභා තුනක් පත් කෙරිණි. තවත් කමිටු කිහිපයක්ද විය. අවසානයේදී පවත්වන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිගමන ඇතුළත් පළමු වෙළුම නිකුත් වී දැන් වසර පහකි. එහෙත් අනෙකුත් වෙළුම් තවමත් සැඟවී ඇත. රහස්‍යභාවය තුළ මෙවැනි භයානක සිදුවීමක් පිළිබඳව සත්‍යය සහ යුක්තිය ඉටු කරන්නේ කවදාද යන්න අප සිතට වද දෙන කරුණක් වී තිබේ.
මෙම ව්‍යසනයෙන් මරණයට පත්වූ සහ තුවාල ලැබූ වැඩි දෙනෙක් කතෝලික බැතිමතුන් වූ නිසාත්, මෙම ප්‍රහාරය අපගේ දේවස්ථාන තුළ කිතුනුවන්ගේ අති උතුම් වූ පාස්කු ඉරිදා ප්‍රධාන දේවමෙහෙයන් පැවැත්වෙන අතරතුර සිදුවූ නිසාත්, මේ මරණ පිටුපස ඇති බලවේග මොනවාදැයි සොයා ගැනීම වින්දිත අපගේ මූලික අයිතිවාසිකමක් ලෙස දකිමු. මෙම මහා ඝාතන රැල්ල සහ විනාශය පිටුපස සිටින සියලුම බලවේග හා පුද්ගලයන් සොයා හඳුනා ගැනීම ව්‍යසනයට ගොදුරු වූවන්ගේ පමණක් නොව, එයින් බරපතළ වික්ෂිප්තභාවයට පත්වූ අපගේත්, මේ රටේ සියලුම පුරවැසියන්ගේත් අයිතියකි. එහිදී යුක්තිය සැමට සාධාරණව ඉටු කර දීම රට කරවන අයගේ යුතුකම බව කිව යුතුය.
අද පවතින රජයට පෙර, 2019 වසරේ සිට පිහිටුවූ සියලුම රජයන් මෙම මිනීමරු ප්රහාරයන්හි සත්‍යතාව පසුපස යෑමට දැක්වූ උවමනාව ඉතා අල්ප මට්ටමක පැවති බව පෙනේ. බොහෝ දුරට එම ජනාධිපතිවරුන්, පොලිස්පතිවරුන් මෙන්ම නීතිපතිවරුන්ද මෙම විමර්ශන නොසලකා හරින්නට හෝ කඩාකප්පල් කිරීමට උත්සාහ කළහ. ඒ සඳහා ඔවුන් යොදාගත් උපාය මාර්ගය වූයේ තමන්ට රිසිවන නිගමන ලබාගත හැකි කමිටු පත් කිරීමත්, මතු වන විරෝධතාවලට තාවකාලික පැලැස්තර අලවා පිළිතුරු නොදීමට උත්සාහ කිරීමත්, ප්රයෝගකාරී උපක්‍රම මගින් විමර්ශන බොඳ කර දැමීමත්ය.
පසුගිය 2024 වසරේ බලයට පැමිණි වත්මන් රජය මේ පිළිබඳව වඩාත් සුබවාදී පිළිවෙතක් අනුගමනය කරන බව පිළිගත යුතුය. එහෙත් ඒ ගමන් මගට විවිධ අයුරින් බාධක පමුණුවන්නට ඇතැම් පාර රාජ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක වෙමින් සිටිති. උදාහරණයක් ලෙස, ජනාධිපති කොමිෂන් සභාව විසින් සිය වගකීම පැහැරහළ හිටපු ජනාධිපතිවරුන්ට මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ සහ පොලිසියේ ඇතැම් නිලධාරීන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පැහැදිලි නිර්දේශ ලබාදී තිබුණද, නීතිපති දෙපාර්තමේන්තුව අද වනතුරුත් ඒ ගැන කල් මරමින් සිටින බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුතුය.
මේ අතරම, දැන් පැවැත්වෙන විමර්ශන තුළින් පාස්කු ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ බවට සාක්ෂි මතු වී ඇති ඇතැම් ප්‍රභූ නිලධාරීන් පිළිබඳව, විශේෂයෙන්ම එංගලන්තයේ 'චැනල් 4' නාලිකාව ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන පිළිබඳව බියක් ඇති කරගත් ඇතැම් දේශපාලකයින් සහ දේශපාලන බලවේග, එම විමර්ශන කඩාකප්පල් කිරීමට විවිධ බොළඳ ප්රයත්නයන් දරමින් සිටිති. ඔවුන් මෙසේ කරන්නේ තමන්ගේ නිරුවත හෙළිවේ යැයි බියෙන් නිසාදෝ මවාගන්නා ප්‍රබන්ධ ඔස්සේ සත්‍යය යටපත් කිරීමට උත්සාහ කරති. එවැනි පසුබිමක, තරාතිරම නොබලා මේ සිද්ධීන්ට සම්බන්ධ වූවන් ගෙන්වා හෝ තමන් භාරයට ගෙන ප්‍රශ්න කිරීමේ වරදක් නැත. අවශ්‍ය වන්නේ සත්‍යය සෙවීමයි. ඒ සඳහා අවංකව ක්‍රියා කරන විට කුමන්ත්රණවලට සම්බන්ධ දේශපාලන බලවේග කලබල වීම බලාපොරොත්තු විය හැක්කකි. එසේ නොවේ නම්, දුර්මත නිර්මාණය කරමින් විමර්ශන නොමග යවන්නට ඔවුන් උත්සාහ කරන්නේ ඇයිදැයි තේරුම් ගත නොහැක.
මෙවැනි අයට පැහැදිලිව කිව යුතු දෙයක් ඇත. මෙම ප්‍රහාර නිසා විපතට පත්වූ සිය ගණනක් මිනිසුන් අදටත් විඳින වේදනාව සහ අගතිය අතිමහත්ය. මෙම කරුණෙහිදී නීතිය සැමට සමාන වන බව කවුරුත් තේරුම් ගත යුතුය. විමර්ශන සත්‍යය වෙත අප මෙහෙයවන සෑම කරුණක් වෙතම යොමු විය යුතුය. ස්වල්ප දෙනෙකු විසින් තෝරාගත් කරුණු කිහිපයක් මත පදනම්ව තමන්ගේ මතය ඉස්මතු වන අයුරින් විමර්ශන මෙහෙයවීම සුදුසු නොවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, සෘජුව හෝ වක්‍රව මෙම මිනීමැරුම් පිටුපස සිටියේ කවුරුන්දැයි සෙවීම සඳහා අදාළ සියලු කරුණු විමර්ශනයට ලක් කළ යුතුය. සත්‍යය යනු එකකි; එය තමන්ට රිසි ලෙස ගොඩනැගිය නොහැක. මේ සඳහා අයෙකු ඉහළ වගකීමක් දැරුවෙක්ද, දේශපාලන සම්බන්ධතා ඇත්තෙක්ද, ආරක්ෂක අංශවලට සම්බන්ධ අයෙක්ද නැතහොත් ආර්ථික බලවතෙක්ද යන තත්ත්වයන් නොතකා, සිද්ධීන්ට සම්බන්ධ නම් ඒ තැනැත්තාගෙන් ප්‍රශ්න කර තොරතුරු ලබාගත යුතුය.
කිසිවෙකු නීතියට උඩින් නොසිටිය යුතුය. ප්‍රශ්න කළ යුතු අය ආරක්ෂක සේවාවල අතීතයේ සිටියද, වරදක් කර ඇත්නම් නීතිය ඉදිරියට පැමිණවීමට එය බාධාවක් නොවිය යුතුය. එවැනි අය අන් අයට වඩා යහපත් ජීවිත ගත කළ යුතුව තිබිණි. මේ නිසා කිනම් පසුබිමකින් පැමිණියත්, මෙම ප්‍රහාරයට සම්බන්ධ යමෙක් වේ නම් රැඳවුම් නියෝග යටතේ හෝ ප්‍රශ්න කිරීමේ වරදක් නැත. ආරක්ෂක අංශවල සිටි අය හෝ රණවිරුවන් ලෙස සැලකෙන අය අපරාධවලට සම්බන්ධ වී ඇත්නම්, ඔවුන්ටද නීතිය එක ලෙස ක්‍රියාත්මක විය යුතුය. එය කිසිසේත්ම දේශද්‍රෝහී වීමක් ලෙස හුවා දැක්විය නොහැක. මෙය ප්‍රහාරයෙන් අගතියට පත් වූවන්ගේ අයිතිවාසිකමකි. තමන්ගේ හිතවතුන් ආරක්ෂා කිරීම සඳහා 'රණවිරු ලේබලය' තුළ ඔවුන් සැඟවීමට උත්සාහ කිරීම නින්දිත ක්‍රියාවකි.
2024 ඔක්තෝබර් 06 වන දින අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීගමුව කටුවපිටිය දේවස්ථානයේදී වින්දිතයන් මුණගැසුණු මොහොතේ දුන් ප්‍රතිඥාව වූයේ, පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍යය කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට ඉඩ නොදෙන බවයි. ඒ අනුව අප එතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ, එම පොරොන්දුව යථාර්ථයක් කරමින් පරිපූර්ණ, විනිවිධ පෙනෙන පරීක්ෂණයක් පවත්වා සත්‍යය හෙළිදරව් කරන ලෙසයි. ඒ සඳහා දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇතැයි අපි විශ්වාස කරමු.
යුක්තිය අයිති දෙවියන් වහන්සේටය. අහිංසක මිනිසුන්ගේ රුධිරය අහසට හඬ නගමින් යුක්තිය ඉල්ලා සිටියි. දෙවියන් වහන්සේ යම් දිනක සත්‍ය වශයෙන්ම මෙම යාඥාවට සවන් දී යුක්තිය ඉටු කරනු නියතය. ඒ වනතුරු අපගේ අරගලය නොනැවතේ. අපට සහයෝගය දක්වන සියල්ලන්ට ස්තූතිවන්ත වන අතර සමිඳාණන්ගේ ආශීර්වාදය පතමු.''