
ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට මරණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර නුවරඑළිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රේමලාල් ජයසේකර මහතා පවුලේ ඥාතීන් සමග නුවරඑළිය ප්‍රදේශයට පැමිණ ඇති අතර, අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් නුවරඑළියේ සංචාරයක් සඳහා පැමිණි පිරිසක් සමඟ බහින්බස්වීමක් ඇතිව තිබේ.
ඔහු එහිදී සිය පිස්තෝලය පෙන්වා එම පිරිසට තර්ජනය කළ බවට නුවරඑළිය පොලීසියට ලද පැමිණිල්ලක් මත නුවරඑළිය පොලීසියේ අපරාධ විමර්ශන අංශය මඟින් සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
එහිදී ප්‍රේමලාල් ජයසේකර මහතා සතුව තිබී භාරයට ගත් පිස්තෝලයට ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබූ බලපත්‍රය 2025 වසරෙන් කල්ඉකුත් වී ඇති බවයි අනාවරණයව ඇත්තේ.
සැකකරු නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.