
ජනප්‍රිය නළු හේමාල් රණසිංහ විසින් වෙළඳ දැන්වීම් නිර්මාණ ශිල්පියෙක් සහ සිනමා විචාරකයෙක් වන ලක්මිණ රණසිංහට පහරදීම සම්බන්ධයෙන් ලක්මිණ රණසිංහ විසින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කරන ලද නඩුව දෙවන දිනට අද (මැයි 14) කැඳවනු ලැබුවා.
හේමාල් රණසිංහ වෙනුවෙන් පෙනී සිටි විත්තියේ නීතීඥවරයා වන ජ්‍යෙෂ්ඨ නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා විසින් කරුණු දක්වමින් කියා සිටියේ ලක්මිණ සහ හේමාල් මිතුරන් බවත්, මෙය මිතුරන් අතර සිදුවන ආකාරයේ සුළු ආරවුලක් බවත්ය.
මෙවැනි සිදුවීම් මිතුරන් අතර ඕනෑ තරම් වන බවත්, මෙවැනි සුළු සිදුවීම් අධිකරණවල විභාග කිරීමට තරම් ඒවා නොවන බවත් නීතීඥවරයා වැඩිදුරටත් කියා සිටියා. මෙහිදී විත්තියෙන් මතු කළ ප්‍රධානතම තර්කය වනුයේ මෙය ගණන්ගත නොහැකි තරම් ඉතා කුඩා සිදුවීමක් බවයි. ඒ අනුව මෙම ගැටුම සමථ මණ්ඩලයට යොමු කරන මෙන් විත්තියේ නීතීඥවරයා විසින් ගරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉන් පසුව ලක්මිණ රණසිංහ වෙනුවෙන් පෙනී සිටි පැමිණිල්ලේ ජ්‍යෙෂ්ඨ නීතීඥ අජිත් පතිරණ මහතා ලක්මිණ රණසිංහගේ වෘත්තීය පසුබිම පිළිබඳ පැහැදිලි කිරීමක් කරමින් කියා සිටියේ ඔහු සිනමාව සම්බන්ධයෙන් උසස් විචාර කරන සහ වෙළඳ දැන්වීම් නිර්මාණය පිළිබඳ ප්‍රවීනයෙක් බවයි.
ජ්‍යෙෂ්ඨ නීතීඥ අජිත් පතිරණ මහතා පහරදීම සම්බන්ධයෙන් තවදුරටත් මෙසේ කියා සිටියා.
“ගරු ස්වාමීනී, මෙය සුළුකොට තැකිය හැකි පහරදීමක් නෙමෙයි. මේ පහරදීම සිදු වුනේ දෙවනි වතාවට. මීට පෙරත් ලක්මිණ රණසිංහට, මේ හේමාල් නම් චූදිතයා පහරදීමක් කර තිබෙනවා. පළමුවර පහරදුන්නෙ මේ චූදිතයා ගැන විචාර ලියුවා කියලා. දෙවනි වර පහර දුන්නෙ මේ චූදිතයා ගැන ලියුවෙ නෑ කියලා ස්වාමීනී. මේක හරි වැඩක්නෙ ස්වාමීනී.. ලියුවත් ගහනවා නොලිව්වත් ගහනවා. මේ චූදිතයාගේ අත ටිකක් දිග වැඩියි ස්වාමීනී. මෙය මිතුරන් අතර සිදුවන ආකාරයේ සරල සිද්ධියක් නෙමෙයි. මෙය පහරදීමක්... මෙම පහරදීම මගේ සේවා දායකයා සිටින ක්ෂේත්රයේ දන්නා හඳුනන සියලු දෙනා ඉදිරිපිට ප්‍රසිද්ධියේ සිදුකළ පහර දීමක් ස්වාමීනී.”
ඉන් පසුව, අගතියට පත් ලක්මිණ රණසිංහ වෙනුවෙන් වැල්ලවත්ත පොලිසිය විසින් පෙර අධිකරණ නියෝග මත ලබාගත් පහරදීම සටහන්වී ඇති CCTV දර්ශන ඇතුළත් CD පට ඉදිරි නඩු විභාගයේදි සාක්ෂි ලෙස භාවිත කරනු ලබන බවට නොතීසීය වැල්ලවත්ත පොලිසිය චූදිත හේමාල් රණසිංහගේ නීතීඥවරයා වෙත භාරදෙනු ලැබුවා.
මෙම ගැටුම සමතයකට පත් කිරීම සඳහා සමථ මණ්ඩලය වෙත යොමු කරන මෙන් හේමාල් රණසිංහ වෙනුවෙන් පෙනී සිටි විත්තියේ නීතීඥවරයා ගරු අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉන්පසුව මෙම ආරවුල සමථ මණ්ඩලයට යොමු කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ගරු මහේස්ත්‍රාත්වරිය විසින් නියම කරනු ලැබුවා. සමථ මණ්ඩලයේ තීරණය සලකා බැලීමට ගරු අධිකරණය විසින් ඉදිරි දිනයක් ලබාදෙනු ලැබුවා.
මෙවර නඩු වාරයේ විශේෂත්වය වන්නේ පළමු නඩුවාරයේදී චූදිත හේමාල් රණසිංහගේ පාර්ශවයේ ස්ථාවරය වූයේ පහරදීමක් සිදු නොවු බවත්, “ලක්මිණ, එන්න අපි කතා කරමු” කියා අතින් ඇදීමක් පමණක් සිදු වූ බවත්ය. නමුත් මෙවර නඩු වාරයේදී හේමාල් රණසිංහගේ පාර්ශවයේ ස්ථාවරය වූයේ මෙම ආරවුල සමථ මණ්ඩලය හරහා විසඳිය හැකි මට්ටමේ ආරවුලක් වන බවයි.
හේමාල් රණසිංහ විසින් ලක්මිණ රණසිංහට කරනු ලැබූ මෙම පහරදීම සිදුවී ඇතැයි කියනු ලබන්නේ ෆාදර් චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වුනු 2026 ජනවාරි 8 වන දින හැව්ලොක් සිටි සිනමා සංකීරණයේදීය. එම අවස්ථාවට නළු නිළියන්, විචාරකයින්, මාධ්‍යවේදීන් ඇතුළු කලා ක්ෂේත්රයේ විශාල පිරිසක් සහභාගී වී තිබෙනවා.
මෙහිදී ජනවාරි 8 වන දින ලක්මිණ රණසිංහ විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලට අදාළව කටඋත්තර ලබාගැනීම සඳහා වැල්ලවත්ත පොලිසිය විසින් හේමාල් රණසිංහට කැඳවීම් කිහිපයක් කළත් විත්තිකරු දිගින් දිගටම පැමිණ තිබුනේ නෑ. ඒ අනුව 2026 පෙබරවාරි 3 වන දින නීතීඥයෙකු මාර්ගයෙන් පොලිසියට ඉදිරිපත් වූ හේමාල් රණසිංහව, එදිනම වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගරු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී හේමාල් රණසිංහගේ පාර්ශවය විසින් පහරදීමක් සිදු නොවූ බව ගරු අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියා. නමුත් ලක්මිණ රණසිංහගේ පාර්ශවය විසින් ගරු අධිකරණයට කියා සිටියේ මෙම පහරදීම ප්‍රසිද්ධියේ සිදු වූ බවත්, එම පහරදීම ඉතාමත් පැහැදිලිව CCTV දර්ශන වල සටහන්ව තිබෙන බවත්ය. එහිදී හේමාල් රණසිංහව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරිනු ලැබුවා. ඉන් පසුව නැවත නඩුව කැඳවනු ලැබුවේ අද (මැයි 14 වන) දිනයි.
මෙම නඩුව 2026 සැප්තැම්බර් 10 වන දින නැවත කැඳවීමට නියමිතයි.