
2014 වසරේ මැයි මාසයේදී ප්‍රථම වරට ධුරයට පත් වී මේ වන විට සිය තෙවන වාරය ද සපුරමින් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉන්දීය ඉතිහාසයේ දීර්ඝතම කාලයක් අඛණ්ඩව එම ධුරය දැරූ, අග්‍රාමාත්‍යවරයා (Longest-serving elected PM) බවට පත්වෙමින් නව ඉතිහාසගත වාර්තාවක් පිහිටුවා තිබේ.
අග්‍රාමාත්‍යවරයා මේ වන විට සිය ධුරයේ වසර 12 ක් සම්පූර්ණ කර ඇත.
මෙම සුවිශේෂී සන්ධිස්ථානය වෙනුවෙන් ලෝක නායකයන්, දේශපාලනඥයන් සහ ප්රමුඛ පෙළේ පුද්ගලයන් රැසක් නරේන්ද්‍ර මෝදි වෙත සුභපැතුම් පිරිනමමින් සිටියි.
ඒ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද X පණිවිඩයක් සහ ලිපියක් යොමුකරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත සිය උණුසුම් සුභපැතුම් පිරිනමා තිබේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සමීප හවුල්කාරිත්වය අගය කරන බව ද එහි සඳහන් කර ඇත.
එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සනිටුහන් කළ මෙම සන්ධිස්ථානය සිය ධුර කාලයේ වසර ගණනාවක සාක්ෂියක් පමණක් නොව, ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී රටේ ජනතාව එම නායකත්වය කෙරෙහි නැවත නැවතත් තැබූ විශ්වාසය හා සුරක්ෂිතභාවය මැනවින් පෙන්නුම් කරන්නක් වන බවත් එමඟින් පෙන්වා දී තිබේ.

2001 ඔක්තෝබර් 07 වන දින ප්‍රථම වරට ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස වැඩභාරගත් නරේන්ද්‍ර මෝදි, වසර 13 කට අධික කාලයක් එම තනතුර දරමින් 2014 මැයි 21 දක්වා එහි කටයුතු කරන ලදී.
පසුව 2014 මැයි 26 වන දින ඉන්දියාවේ 14 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ඔහු, ලෝක් සභාවේ පූර්ණ බහුතරයක් ලබාගත් කොංග්රස් නොවන පළමු නායකයා බවට පත් විය.
එමෙන්ම පූර්ණ ධුර කාලයන් දෙකක් අවසන් කර, තෙවන වරටත් අඛණ්ඩව බලයට පත් වූ එකම කොංග්රස් නොවන අග්‍රාමාත්‍යවරයා ද නරේන්ද්‍ර මෝදි වේ.