
මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය අතර 66 වැනි වරට පැවැත්වීමට නියමිතව තිබූ වාර්ෂික මහා ක්‍රිකට් තරගය (Battle of the Babes), මාර්ග අනතුරකින් ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මියයාම හේතුවෙන් අද (අප්‍රේල් 02) අත්හිටුවීමට තීරණය කෙරිණි.
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය නැරඹීම සඳහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී, එම යතුරුපැදිය බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුර සිදුවූ ස්ථානයේදීම සචිත් කරුණාරත්න නැමති ශිෂ්‍යයා මියගොස් ඇති අතර, තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ නේතුල නිම්දිනු නැමති අනෙක් ශිෂ්‍යයා ද පසුව ප්‍රතිකාර ලබමින් සිටියදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණා.
මෙම ශෝකජනක සිදුවීමත් සමඟ මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අබේකෝන් මහතා තරගය නතර කරන ලෙස යෝජනා කර ඇති අතර, ඒ අනුව විද්‍යාල දෙකෙහිම විදුහල්පතිවරුන් එක්ව තරගය අතරමගදී අත්හිටුවීමට තීරණය කර තිබේ.
මෙම සිසුන් දෙදෙනාගේ මරණය තහවුරු කරමින් ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය සඳහන් කළේ, ඔවුන් විද්‍යාලයීය ප්‍රජාව තුළ ඉතා කැපවීමෙන් කටයුතු කළ ශිෂ්‍යයන් දෙදෙනෙකු වන බවයි.