
වෙනිසියුලාවේ සිදුවූ ප්‍රබල භූ කම්පන ද්විත්වය හේතුවෙන්, අවම වශයෙන් පුද්ගලයන් 32 දෙනෙකු මියගොස් තවත් 700 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
පළමු භූමිකම්පාව රික්ටර් මාපකයේ 7.2 ක ප්‍රබලත්වයකින් සටහන් වූ අතර, ඊට විනාඩියකටත් අඩු කාලයකට පසු ඇති වූ දෙවන භූමිකම්පාව රික්ටර් මාපකයේ 7.5 ක ඉහළ ප්‍රබලත්වයකින් යුක්ත වී තිබේ.
භූමිකම්පා සිදුවන අවස්ථාවේදී වෙනිසියුලාව ජාතික නිවාඩු දිනයක් සමරමින් සිටි අතර, ව්‍යසනය සිදුවන විට බොහෝ පිරිසක් නිවෙස්වල රැඳී සිට ඇත.
කැරකස් (Caracas) අගනුවරට බටහිරින් පිහිටි ප්‍රදේශයකට මෙම භූමිකම්පා බලපා ඇති අතර, එහි කම්පනය සමස්ත වෙනිසියුලාව පුරාම මෙන්ම අසල්වැසි කොලොම්බියාවේ බොගෝටා (Bogota) අගනුවර දක්වා ද දැනී තිබේ.
පවතින තත්ත්වය හමුවේ වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් (Delcy Rodriguez) විසින් රට තුළ හදිසි තත්ත්වයක් (State of emergency) ප්‍රකාශයට පත් කර තිබේ.
එමෙන්ම භූමිකම්පාවෙන් සිදු වූ දැඩි හානි හේතුවෙන් මයිකෙටියා (Maiquetia) හි පිහිටි රටේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.