
අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර ඇතුළු පිරිසකට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපත් කළ පැමිණිල්ල මේ මස 19 වනදා යළි කැඳවීමට අභියාචනාධිකරණය අද (15) නියෝග කළා.
මෙම නඩුව අද දින කැඳවූ අවස්ථාවේදී සභාපති විනිසුරුවරයා සඳහන් කළේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ පවතින නඩු ගොනුවේ පිටපත් මේ දක්වා ලැබී නොමැති බවයි.
එම නඩු ගොනුවේ පිටපත් ගෙන්වා ගැනීමට අවශ්ය නියෝග මේ වන විටත් නිකුත් කර ඇති බව සඳහන් කළ විනිසුරු මඩුල්ල ඒ අනුව අදාළ පැමිණිල්ල නැවත සලකා බැලීම සඳහා ලබන 19 වනදා කැඳවීමට නියම කළා.
පාස්කු ප්රහාරයේ විමර්ශනවලට අදාළව රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට විරෝධය පළ කරමින් පැවැති විරෝධතාවලදී පළ කළ අදහස්වලින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බව දක්වමින්, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර සහ සුගීෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබුණා.